14

මා කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුවකුව සිටියදී පොදුවේ මගේ අදහස් එවකට විද්‍යා පීඨයේ ශිෂ්‍ය සංගමයේ දේශපාලනය සමඟ සමපාත විය. නමුත් එය පදනම් කරගෙන විද්‍යා පීඨයේ ශිෂ්‍ය සංගමයට මගේ බැඳීමක් නොතිබිනි. එක්සත් ජාතික පක්‍ෂ රජය ජවිපෙ තරුණයින් ඝාතනය කරද්දී එය පදනම් කරගෙන දැඩි ආණ්ඩු විරෝධයක් මා තුල තිබුනද ජවිපෙ විසින් අසාධාරණයක් වනවා යැයි හඳුනාගත් පංතියක් පිළිබඳ හැඟීමක් මා තුල නොවිනි. එපමණක් නොවේ එකල කොටි ත්‍රස්තවාදීන් රට පුරා සිංහලුන් ඝාතනය කරද්දී පවා මම සිංහලයෙක්ය යන හැඟීමක් මා තුල දැනවූනේ නැත. මා පිළිගත් දේශපාලන මත නිසා මම යම් සමූහයකට අයත් වේ යැයි හැඟීමක් බොහෝ කලක් යන තෙක් මට දැනුනේ නැත. මගේ පවුලට හැරෙන්න මා අයත් යැයි මට හැඟුනේ මගේ දෙමව්පියන්ගේ ගමටය. ඒ සමූහයේ සාමාජිකත්වය ලබා ගැනීමට මට තිබුනේ අවම සුදුසුකමක් වුනද මා ඊට අයිතිය යන හැඟීම මට මගේ දෙමව්පියන් විසින් ලබා දී තිබිනි. නමුත් ඒ හඳුනාගැනීමෙහි දේශපාලන වැදගත් කමක් තිබුනේ නැත.

මා සිංහල ජාතිය යන සමූහයට අයිතිය යන හැඟීම වර්ධනය වුයේ මා ඇමෙරිකාවේ වාසය කල කාලයේ මා තුල වර්ධනයවූ දේශපාලන අදහස් තුලිනි.  ඒ දේශපාලන හැඟීම් සහ මා තුල ඇතිවූ ජාතිය පිළිබඳ හැඟීම් අතර එකිනෙකින් වෙන් කල නොහැකි සබඳකමක් තිබිනි. මගේ ඇමෙරිකානු අත්දැකීම නොවන්නට මා සිංහලයෙකු යන හැඟීම මා තුල ඇති නොවනු ඇතැයි ඉන් නොකියැවේ. නමුත් මා තුල ක්‍රමයෙන් බිහිවූ දේශපාලන සත්වයා නොහිඳින්නට මට ජාතිය ගැන හැඟීමක් ඇති නොවන්නට ඉඩ තිබිනි. කෙසේ නමුත් මගේ ඇඟට දැනුන ජාතික හැඟීම කුඩා කල සිට මගේ දෙමව්පියන් විසින් මාතුල ඔවුන්ගේ ගම ගැන ඇතිකල හැඟීමේම දිගුවක් විය. මේ හැඟීම් මා ලංකාවට කැඳවූ ප්‍රධාන හේතුවක් යැයි ආපසු හැරී බලන විට මට සිතෙයි.

මගේ දේශපාලන අදහස් වලට ඇමෙරිකානු සංස්කෘතික අත්දැකීම බලපෑවේය. මෙතෙක් මා විස්තර කිරීමට උත්සාහ කලේ ඒ අත්දැකීමය. ඇමෙරිකානු සංස්කෘතියේ මා සසල කල ප්‍රධානම ලක්‍ෂණය වූයේ පුද්ගලයා සමාජයෙන් වෙන්කෙරීමය. පසු කලෙක මා විසින් ලියන ලද ලිපි බොහොමයක විශය වූයේ එයය. ඒ ගැන කෙතරම් ලියුවත් ප්‍රමාණවත් නොවේ යැයි මට සිතෙන්නේ මමද ආචාර්ය නලින් ද සිල්වාගේ ලිපි කියවා ඒ ගැන දැන සිටියද වෙන්කෙරීම අත්දැකීමෙන්ම දැන ගන්නා තුරු ඒ පිළිබඳ හැඟීමක් ඇති නොවුනු බැවිනි. මා අත්දැකීමෙන් ඉගෙනගත් තවත් වැදගත් කරුණක් වුයේ දැනුම සහ දේශපාලනය අතරවූ චක්‍රීය සම්බන්ධයය. ඒ බව මා ඉගෙනගත්තේ රැකියාව තුලිනි. අද සිංහල විරෝධී බලවේග විසින් මෙරට ව්‍යවස්ථාව වෙනස් කිරීමට දරන උත්සාහයේ ඒ චක්‍රීය බව දැකිය හැකිය.

දෙදාහ දශකයේ ලංකාවේ සිදුවූ දේශපාලන පෙරලිද මා තුල දේශපාලන සත්වයෙකු බිහිවීමට බෙහෙවින්ම බලපෑවේය. එකල මම දිනපතා දිවයින සහ අයිලන්ඩ් පුවත්පත් අන්තර් ජාලයෙන් කියැවීමි. ඒ අතර ආචාර්ය නලින් ද සිල්වාගේ ලිපි තුලින් මා දේශපාලනික අදහස් ගොඩනැඟීමට යම් පුහුණුවක් ලදිමි. නමුත් මා ජීචත්වූයේ ලංකාවේ නොවුනු බැවින්දෝ මගේ දේශපාලන හැඟීම් වල යම් අතිශෝක්තියක් තිබිනි යැයි දැන් සිතේ. උදාහරණයක් ලෙස මාවිල් ආරු සිද්ධියෙන් ඇරඹි හමුදා මෙහෙයුම අවසානය දක්වා මා ඉතා උනන්දුවෙන් හා හැඟීම් බරව බලා සිටියෙමි. එකල උදේ වරුවම පාහේ ගෙවුනේ පසුදා සටන් බිමේ සිිදුවුනු තොරතුරු අන්තර්ජාලය හරහා අකුරක් නෑර කියවීම සඳහාය. මේ අත්දැකීමේත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ ක්‍රීඩා කරන තරඟයක් නැරඹීමේදී ඇතිවුනු හැඟීමුත් අතර කෙතරම් වෙනසක් ඇත්දැයි කීමට අපහසුය. කෙසේ නමුත් කොටි පරාජය කිරීමෙන් පසු ගාලුමුවදොර පිටියේ පැවැති හමුදා පෙළපාලියේදී ජනාධිපතිවරයා ඉදිරියේදී දරු පිරිසක් දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච යැයි ගයද්දී නෙතට කඳුලක් නඟමින් සිතට දැනුන හැඟීම අන් කිසිම අත්දැකීමකට සම කල නොහැකිය.

සිංහල බෞද්ධයින් සිතන පතන, ජීවත්වන ක්‍රමය බටහිරුන්ගේ ක්‍රමයත් සමඟ නොගැලපෙයි. ඒ බව පොදු ඇමෙරිකානු සමාජය තුලද තනි පුද්ගලයින් තුලද විවිධාකාරයෙන් දැක ගත හැකිය. ඒ නොගැලපීම ගැටුමක් බවට පත්වීම අනිවාර්ය නොවුනත් බටහිරුන්ගේ අධිරාජ්‍යවාදී ආකල්ප හේතුවෙන් එය ගැටුමක් වීම වැලැක්විය නොහැකිය. මේ සංස්කෘතික ගැටුමේ ප්‍රථිපලයක් වශයෙන් මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට අනුකුලව ජීවත්වන්නට උත්සාහ දරන කුමන හෝ ජාතියකට අයත් පුද්ගලයෙකුට වුවද පවතින සමාජ-දේශපාලන ක්‍රමය තුල අසාධාරනයක් සිදුවෙයි. මා වැදගත්ම ලෙස සලකන සමාජ අසාධාරනය එයයි. ජාතියක් වශයෙන් මේ අසාධාරණයට එරෙහිව නැඟිටීමට අපට ශක්තියක් නැතිව ගොස් ඇත. අපි දැන් කරන්නේ හැකි පමණින් අපේ සංස්කෘතියෙන් පලා ගොස් අසාධාරණයට ලක් නොවී ගැලවීමටය. මමද එසේ පලා යන්නෙක්මි. මධ්‍යම පංතික තරුණ පවුල් සුන්දර වෙල් යායක් අසල බිම් කට්ටියක තම නිවස තනන්නේ සංස්කෘතියෙන් පලා යන ගමන් ඉන් කොටසක් මිලදී ගැනීමේ ආශාව ඇතිවය. නමුත් ඒ සුන්දර වෙල් යාය අස්වද්දන ගොවි මහත්වරුන්ට සහ ඔවුන්ගේ පවුල් වලට වැඩි කලක් ඒ අවට රැඳී සිටීමට තරම් ආර්ථික ශක්තියක් නැතිවෙනු ඇත. ඔවුන් තමන්ගේ ඉඩ කඩම් විකුණා නොවටිනා ඉඩම් වලට සංක්‍රමණය වන විට වෙල්යාය තවත් නිවාස ව්‍යාපෘතියකට යටවෙනු ඇත. ඇමෙරිකාවේද තිරිඟු බිම් ගොඩවෙමින් නව නගර බිහිවෙනමුත් එසේ වෙන්නේ ඔවුන්ගේ සංස්කෘතියට අනුකුලව එහි වර්ධනයත් සමඟය. නමුත් අද මේ රටේ ඇති හැකිවුන් සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පලා යමින් සිටියි. හැකිනම් බෝට්ටුවෙන් හෝ අහස්යාත්‍රාවෙන් හෝ රටින්ද පලා යයි. පලා යන ගමන් සංස්කෘතියක් වර්ධනය කල නොහැකිය, ජාතියක් ගොඩනැඟිය නොහැකිය, රටක් සංවර්ධනය කල නොහැකිය. ජාතිකවාදී රජයක මූලික වගකීම විය යුත්තේ පලා යාමේ ප්‍රවණතාව අවම කිරීමට කටයුතු කිරීමය. හැකිනම් පලා ගිය වුන් නැවත සංස්කෘතිය වෙත ගෙන්වා ගැනීමටය.

මමත් බිරිඳත් වසර ගණනාවක් තිස්සේ දරුවෙක් පැතුවෙමු. 2010දී ඒ පැතුම් සඵල කරමින් අපට දියණියක් ලැබිනි. ඇගේ පැමිණීම ඒ වනවිට මැදි වියේ සිටි මට ජීවිතයේ යලි ඇරඹීමක් විය. කලින් කලට “මම” අළුත් කර ගැනීම සංසාර ගමන දිගු කර ගන්නා පෘතග්ජන ක්‍රමය විය යුතුය. කෙසේ වෙතත් ඒ සමඟම කාලයක් තිස්සේ යටි සිතේ සැඟවී තිබුනු ගෙදර යාමේ අදහස මතු පිටට ගැනිනි. මා සතුවූ වැදගත්ම දැනුමවූ අපේ රටේ සංස්කෘතිය ඇයට දායාද කිරීමට මට උවමණා විය. එය අප දෙදෙනාට දිය හැකි දෙයක් නොවිනි. සින්සිනාටියේ සිංහල පංසලෙන්වත් එය ලබා ගත නොහැකිය. දුව පාසල් යන වියට පත්වෙන විට ලංකාවේ සිටිය යුතුයැයි අපි තීරණය කළෙමු. දුවට නම තැබුවේ අපිමය. බොහෝ ආසියාතික සංක්‍රමිකයෝ සුද්දන්ට පහසුවෙන් උච්ඡාරණය කල හැකි නමක් තැබීමට වග බලා ගනිති. නමුත් මට එසේ කිරීමට උවමණා නොවුනේ ඇය ලංකාවේ ජීවත්වෙනු ඇතැයි බලාපොරොත්තුවූ බැවිනි. ගෙදර යන ගමනේ ආපස්සට ගත නොහැකි ප්‍රථම පියවර දුවට නම තැබීම විය. සංක්‍රමණිකයින් කෙසේ සිතුවත් ඇමෙරිකානුවෝ පුද්ගලයින්ගේ නම් නිවැරදි ලෙස උච්ඡාරණය කිරීමට වැදගත් කමක් දෙති. ඒ කිසිවක් නිසා නොව ඔවුන් පුද්ගලිකත්වය උතුම් කොට සලකන බැවිනි. ඒ අනුව ඇමෙරිකානුවෝ දුවගේ නම නිවැරදි ලෙසට උච්ඡාරණය කිරීමට උත්සාහ ගත්හ.

අපි 2012දී පමණ ලංකාවේ නිවසක් තැනීමට සැලසුම් කිරීමට පටන් ගතිමු. එය මගේ ආපසු ගමනේ ආපස්සට ගත නොහැකිවූ බරපතලම පියවර විය. එකලම වාගේ මගේ රට යන නමින් බ්ලොග් අඩවියක් ලියන්නට පටන් ගතිමි. එහි ලියැවුනු කථා බොහෝ කලක සිට ලියන්නට සිතා ගෙන සිටිදෑ වුනද එතෙක් නොලියා සිටියේ ලංකාවේ ජීවත්ව නොඉද ඒ කථා ලිවීම නොසුදුසු යැයි සිතුනු බැවිනි. කලක් තිස්සේ සිතමින් සිටි නිසාදෝ ලියන්නට පටන් ගත් විට ලියන්නට බැරි තරම් වේගයෙන් අදහස් ගලා ආවේය. කොහොමටත් භාෂාව හැසිරවීමේ දක්‍ෂකමක් මට නැත. ව්‍යාකරණ පිළිබඳ මගේ ඇත්තේ නොරිස්සන ගතියකි. මුලදී එක ලිපියක් ලියා ගන්නට සතියක් පමණ වෙහෙස වුනෙමි. කාලයාගේ ඇවෑමෙන් මම ලිවීමට හුරුවුනෙමි. මසකට ලිපි තුන හතරක් ලීවෙමි. එක ලිපියක් සාමාන්‍යයෙන් සියයක් දෙසීයක් පමණ පිරිසක් කියවූ බව අඩවියේ පෙන්නුම් කෙරිනි. මම බ්ලොග් අඩවියේ මගේ නම සඳහන් කලේ වංශපුර දේවගේ ජානක වශයෙනි. ඊට හේතුවක් තිබිනි.

මගේ මවගේ මවගේ නම හේවායලෑ කිරිහටනීය. මම ඒ නමට ඇලුම් කලෙමි. ආච්චි අම්මා ඉපදුනේ මීට වසර සියයකට පමණ ඉහතය. හේවායලෑ කිරිහටනී යනු ඇගේ දෙමව්පියන් විසින් ඈට දුන් නමය. විවාහයෙන් පසුවද ඈ නම වෙනස් කර ගත්තේ නැතිවා විය යුතුය. අද නම් බටහිර සමහර ස්ත්‍රීන් එසේ කරන්නේ පුරුශාධිපත්‍යයට විරෝධයක් වශයෙනි. ආච්චි අම්මා තම නම වෙනස් නොකර ගැනීමට හේතුව එය නොවීය. ඊට තුඩුදුන් සංස්කෘතික ලක්‍ෂණය කුමක් වුවද එය අද අපෙන් ගිලිහී ගොස් ඇත. මගේ දෙමව්පියෝ ඔවුන්ට උපතින් ලැබුනු “ගොඩේ” නම් ගමේ ඉස්කෝලයට යද්දීම වෙනස් කරගෙන තිබිනි. ඔවුන් කොළඹ රස්සාවලට එනවිට පෙළපත්නාමයෙන් කොටසක් වාසගමක් ලෙස නම අගට යොදා ගෙන තිබිනි. ඔවුහු අපට නම් තබද්දී පෙලපත්නාමය හලා ඉංග්‍රීසි ක්‍රමයට මුල නම මැද නම සහ වාසගම යන අනුපිලිවෙලට නම් දුන්හ. නම් තැබීමේ වෙනස වසර පණහක් පමණ කාලයක් තුල අපි සංස්කෘතියෙන් පිරිහී ඇති ආකාරය පිළබිඹු කරයි. ආච්චි අම්මාගේ නමේ වැදගත් තැනක් හිමිවූයේ ඇය කාගේ කවුරුද යන්නටය. අද වැදගත් වන්නේ මා කවුරුද යන්නය. ඉතා කෙටි කලක් තුල අපි අපේ සමාජයට තිබුනු බැඳීම ලෙහා ගෙන ඇත. අපි තව තවත් එය ලෙහමින් සිටින්නෙමු. බ්ලොග් අඩවියේ මගේ නම එලෙස සඳහන් කලේ ලෙහීමට විරෝධතාවක් වශයෙනි.

මේ අතරතුර මගේ පියා රෝගාතුරව සිට ආබාධිත තත්වයට පත්විය. ඔහු බලා කියා ගැනීමට පවුලේ කිසිවෙක් ලංකාවේ නොමැතිවූ බැවින් මගේ ආපසු ගමණ තවත් හදිසි කෙරිනි. 2014 ලංකාවට පැමිණෙන බලාපොරොත්තුව මත මම 2013 අග භාගයේ කොළඹ විශ්ව විද්‍යාලයේ කතිකාචාර්ය ධූරයකට අයැදුම් කලෙමි. ඒ ගැන මහත් බලාපොරොත්තුවෙන් සිටියද ඒ වනවිට මා ද්විත්ව පුරවැසිභාවය ලබා නොසිටි බැවින් රැකියාව නොලැබුනි. නමුත් 2014 අවසාන වනවිට නිවස සදා නිමවී තිබිනි. දුව නගරයේ පාසලකට ඇතුලත් කිරීමට අයැදුම් කර තිබිනි. ඒ වනවිට තාත්තා වසරකට වැඩි කාලයක් තිස්සේ රොහලක නේවාසිකව සිටියේය. එබැවින් රැකියාවක් නැතිවද, කුමක් හෝ කරගනිමි යැයි සිතා සැලසුම් කර තිබූ පරිදි 2014 නොවැම්බර අග අපි ලංකාවට පැමිණියෙමු.

ඇමෙරිකාවේ වෙසුනු අවසන් කාලයේදී බොහෝ දෙනා මා ආපසු ලංකාවට යන්නේ ඇයිදැයි මගෙන් ප්‍රශ්ණ කලහ. සුදු ඇමෙරිකානුවන්ට එය විස්තර කරදීම එතරම් අපහසු නොවිනි. නමුත් මගේ ශ්‍රී ලාංකික සහ ඉංදියානු මිතුරන්ට එය ඒත්තු ගැන්වීම අපහසුවිය. ඔවුන්ගේ අත්දැකීම සහ පසුබිම මට සමානවිය. ඔවුන්ගේ දෙමව්පියන් ජීවත්වුනේ මව් රටවලය. ඔවුන්ගේ ළමයින් හැදෙන්නේ ඔවුන්ට නුහුරු ඇමෙරිකානු සංස්කෘතියේය. ඔවුන් බොහෝ දෙනා යම් අවස්ථාවකදී ආපසු තම මව් රටට නොයන බවට තීරණය කර තිබිනි. ඔවුන් සමඟ වූ බොහෝ සංවාද වලදී ඔවුන් ගත් තීරණය සාධාරණය කලේ ඇමෙරිකාවේ ජීවත්වීමේ හොඳ නරක තරාදියක දමා කිරා බැලීම තුලිනි. නමුත් මට තරාදියක් නොවිනි. මම කිරා බැලීමක් නොකලෙමි. එබැවින් මට තර්කයක් නොතිබිනි. එය මට එතරම් ගැටළුවක් නොවිනි. නමුත් මට ගැටළුවක් වූයේ ලංකාවට පැමිණි පසු ලංකාවේ අය මා ආපසු ලංකාවට ආවේ ඇයිදැයි ප්‍රශ්ණ කරන විටය. දැන් නම් එයද ගැටළුවක් නොවේ. ඇමෙරිකාවේ ජීවත්වන ලාංකිකයින්ට දෙන්නට පිළිතුරක් නැතිවා සේම ලංකාවේ ජීවත්වන්නන්ට දෙන්නටද පිළිතුරක් නැති බව පමණක් මම දනිමි.

ලංකාවට පැමිණ මුල් වසරක පමණ කාලය ඉතා කටුක අත්දැකීමක් විය. රස්සාවක් නොතිබීම ඊට ප්‍රධාන හේතුව විනි. ලංකාවේ සිටියදීත් ටික කලක් යනතෙක් සින්සිනාටි ළමා රෝහල මා රැකියාවේ තබාගෙන පඩි ගෙවුවේය. මම ඔවුන්ට ඒ ගැන කෘතඥ වෙමි. ඒ අතර කොළඹ විශ්ව විද්‍යාලයේ ආචර්ය වරුන් මට දැක්වූ අනුග්‍රහයටද මම කෘතඥ වෙමි. ද්විත්ව පුරවැසි භාවය ලබාගෙන නැවතත් රැකියාවට අයැදුම් කර කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතිකවිද්‍යා අංශයට ස්ථිර පත්වීමක් ලැබෙන විට අපි ලංකාවට පැමිණ වසරකට වඩා වැඩි කාලයක් ගතව තිබිනි.

මා ඇමෙරිකාවේදී ලංකාව ගැන සිතා සිටි බොහෝ දේ ලංකාවට පැමිණි පසු වෙනස් විය. මහින්ද රාජපක්‍ෂ පරාජයට පත්වෙනු ඇතැයි මම නොසිතුවෙමි නොපැතුවෙමි. මා ලංකාවට පැමිණ මසක් ඇතුලත සිදුවූ ඒ වෙනස මා මහත් පසුබෑමකට ලක් කලේය. රජය සමඟ සම්බන්ධ කමක් හෝ සම්බන්ධකම් පැවැත්වීමේ උවමණාවක් හෝ මට නොතිබුනද ජාතිකවාදී දේශපාලන පසුබිමක් තුල විශ්ව විද්‍යාල ගුරුවරයෙකු වශයෙන් රටේ අභිවෘද්ධියට සුළුවෙන් හෝ දායකවීමට මම බලාපොරොත්තු වෙන් සිටියෙමි. රජය බිඳ වැටීමත් සමඟම ඒ බලාපොරොත්තු බිඳ වැටිනි. නමුත් වසර එකහමාරකට පමණ පසු මම නැවතත් බලාපොරොත්තු ඇති කරගනිමින් සිටිමි. පසුගිය දශක දෙක තුල මෙරට සංස්කෘතිය පිරිහී ඇති ආකාරය ඛේදජනකය. ඇමෙරිකාවේ සිටි අවසන් කාලය තුල වසරක් පාසා ලංකාවට පැමිණියද ඒ පිළිබඳ පැහැදිලි අවබෝධයක් මට නොතිබිනි. කොළඹ නගරයේ මිනිස්සු බොහෝ දුරට තම තමන්ගේ ලෝකවල සිරවී ජීවත් වෙති. මම ස්වභාවයෙන්ම එතරම් සමාජශීලී පුද්ගලයෙක් නොවෙමි. මේ වෙනස සමඟ මෙරට සමාජය හා මුසු වීම මට තවත් අපහසු කෙරී ඇත. අපි බලාපොරොත්තුවූ සංස්කෘතිය දරුවාට උරුම කිරීමට හැකිද යන්න ප්‍රශ්ණයකි. ජීවන වියදම බලාපොරොත්තු වූවාට වඩා අධිකය. වසරක් පමණ කෙටි කාලයක් තුල එය සියයට විස්සකින් තිහකින් ඉහල ගොස් ඇත. රථ වාහන තද බදය නිසා දිනපතා නගරයට ගමන් බිමන් යෑම වෙහෙසකරය. මෙරට පාසැල් වල ඉගැන්වීමේ ක්‍රම සහ විශයමාලා සතුටුදායක නොවේ. තරඟකාරී විභාග හරහා දරුවන්ට ඇති කරන පීඩනය අධිකය. මේ ආදී විවිධ කාරනා නිසා මෙරට ජීවිතය පහසු කරගැනීම සඳහා ඉදිරියේදී තවත් බොහෝ වෙනස්කම් කරගැනීමට සිදුවෙනු ඇත. වසර දෙකක පමණ කාලයක් තිස්සේ මේ සියලු කම්කටෝර දරාගනිමින් මගේ ලංකා සිහිණය සැබෑ කර දුන් මගේ ආදරණීය බිරිඳට මම කෘතඥ වෙමි. ඇගේ කැපවීම සහ ධෛර්ය නොවන්නට එය සිහිණයක්ම පමණක් වනු ඇත.

මේ රටේ උපදින්නට අප පිං කර ඇත. ඒ පිං බලයෙන් තවදුරටත් මේ රටේ ජීවත්වන්ට හැකිවේවායැයි මම පතමි. පෘතග්ජන මිනිස්සු තමන් දකින ලෝකයත් තමන් අත්දකින ලෝකයත් අතර සංගත භාවයක් අත් කර ගැනීමට නිරන්තරයෙන් දැක්මත් අත්දැකීමත් වෙනස් කර ගනිමින් අසාර්ථක උත්සාහයක යෙදෙති. මා මෙතක් ආ ගමන තේරුම්ගත හැකි සුදුසුම විදිහ එය යයි මම සිතමි.

නිමි

13

සින්සිනෑටි නගරය පිහිටියේ ඔහායේ ප්‍රාන්තයේය. සංස්කෘතියෙන් ඔහායෝ ප්‍රාන්තය සිටියේ කැලිෆෝනියාවත් මිසිසිපියත් අතර මැද තැනකය. ඔහායෝ සංස්කෘතිය ඇමෙරිකානු සංස්කෘතියේ සාමාන්‍ය අගය නිරූපනය කලැයි සිතිය හැකිය. සින්සිනෑටියද ඇමෙරිකාවේ නගර අතර මධ්‍යම ප්‍රමාණයේ නගරයකි. මගේ ඇමෙරිකානු ජීවිතයේ වැඩිම කලක් ගෙවුනේ සින්සිනෑටියේ බැවින් කාලයාගේ ඇවෑමෙන් එහි සංස්කෘතියට මම පුරුදු වුනෙමි. ඒ පුරුදුවීම නිසා හෝ එහි සාමාන්‍ය බව නිසා හෝ ඇමෙරිකානු සංස්කෘතිය ගැන කථා කරන විට ඔහායෝ ප්‍රාන්තයේ විශේෂත්වයක් මගේ සිතට නොනැඟේ. සංස්කෘතික වශයෙන් ඔහායෝ පිළිබඳ කුතුහලය දනවන කරුනක් වී නම් ඒ එහි ජීවත්වූ ජර්මානු-ස්විස්තර්ලන්ත සම්භවයක් තිබුනු ආමිශ් මිනිසුන්ගේ සංස්කෘතියය.

ආමිශ්වරු ජීවත්වූයේ යුරෝපීය සංස්කෘතියේම නමුත් ඊට වසර දෙතුන් සීයයක් පමණ පිටු පසිනි. ඔවුන්ගේ ජීවිකාව ගොවිතැන විය. බහුතරයක් ගෙදර දොරේවත් ගොවිපලේ වත් කාර්මික උපකරණ සහ විදුලි බලය පාවිච්චි නොකලහ. බොහෝවිට ගමන් බිමන් ගියේ අස්ව කරත්තයෙනි. ඇන්ඳේ පැලැන්ඳේ පරන තාලයටමය. ගැහැණු අත් පා වැසෙන සේ දිග සාය ගවුම්ද හිස් පලඳනාවන්ද ඇන්ඳාහ. භාවිත කලේ සුදු කළු අළු නිල් වැනි වර්ණ කිහිපයක් පමණි. මිනිස්සු දිගට රැවුල් වැවූහ. දෘඩ සමාජ දූරාවලියක් අනුගමණය කලහ. සාමූහිකත්වයට මුල් තැන දුන්හ. පොදුවේ ආමිශ්වරු ඇමෙරිකනු සමාජයට මුසු වීමට දැඩි ප්‍රතිරෝධයක් දැක්වූහ. සමාන්‍යයෙන් ඔවුන් නගරයට පැමිණියේම නැත. කලාතුරකින් ඔවුන් තම දරුවෙක් ළමා රෝහලට රැගෙන එන විට මුලු පවුල පිටින්ම පැමිණෙනු දැක ගත හැකිවිනි. එවැනි අවස්ථාවල ඔවුන්ගේ දසුන බොහෝ දෙනෙකුට කුතුහලයක් දනවන සුළුවිය. අධිපතිවාදී ඇමෙරිකානු සංස්කෘතිය තුල ආමිශ්වරු තමන්ගේ අනන්‍යතාව රැක ගත්තේ කෙසේද යන්න ප්‍රශ්ණයකි. මා හිතන විදිහට ඊට ප්‍රධාන හේතුව ආමිශ්වරුන්ගෙන් ඇමෙරිකානු පොදු සමාජයට දේශපාලන බලපෑමක් නැතිවීමය. ඒ හා අන්‍යෝන්‍ය වශයෙන් බැඳි අනිත් හේතුව ඇමෙරිකානු සංස්කෘතිය කන්ඩායමක් වශයෙන් ආමිශ්වරුන්ගේ නිදහසට ගරු කිරීමය. මේ ගරු කිරීම ඇමෙරිකානු සංස්කෘතිය තුල පුද්ගලයින්ගේ නිදහසට ගරු කිරීමේම දිගුවකි. නමුත් ඒ ගරු කිරීමට ආමිශ්වරුන් සුදු ජාතිකයින් වීමත් ඔවුන් ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානින් වීමත් ඔවුන්ගේ සංස්කෘතිය වර්තමාන යුරෝපීය සංස්කෘතියට ඈතින් නෑකම් කීමත් බලපෑවා විය යුතුය. එසේ නැතිව යම් හෙයකින් සිංහල බෞද්ධයින් හෝ මුස්ලිම් වරුන් හෝ වෙනයම් පිරිසක් හෝ ඇමෙරිකානු සමාජය තුල ඊට එක් නොවී වෙන්ව ජීවත් වෙන්නට උත්සාහ කලේ නම් ඔවුන්ගේ පුද්ගලික නිදහසට ගරු කිරීමක් සිදුනොවෙනු ඇත.

අපි ජීවත්වූයේ සින්සිනෑටි නගරේයේ බටහිර පැත්තේය. බටහිර පැත්තේ ජීවත්වූ බහුතරය සුදු ජාතික පහල මධ්‍යම පංතිකයින්වුහ (නිල් කරපටි). එහි තිබුනු සමහර සුවිසල් නිවාස වලට අනුව වසර පණහකට හැටකට ඉහතදී ඒ ප්‍රදේශය පොහොසත් සුදු ජාතිකයින්ගෙන් ඝහනව තිබෙන්නට ඇතැයි සිතිය හැකිය. නමුත් නගරයේ තිබි කර්මාන්ත ක්‍රමයෙන් වැසී යාම නිසාත් කළු ජාතිකයින් එම ප්‍රදේශවලට අවතීර්න වීම නිසාත් සමහර සුද්දන් ඉන් පලා යන්නට ඇති (වයිට් ෆ්ලයිට්). දේශපාලනිකව සහ සංස්කෘතිකව ඔවුහු කොන්සවේටිව් අදහස් දැරූ රිපබ්ලිකන් පක්‍ෂයට අයත් අය වූහ. සාපේක්‍ෂ වශයෙන් ඔවුහු එකිනෙකා අතර කිට්ටු සම්බන්ධකම් පැවැත්වූහ. නමුත් අප සමඟ කිට්ටුවෙන් ඇයි හොඳැයිකම් පැවැත්වූයේ අල්ලපු නිවසේ පදිංචිව සිටි පූජක අඹුසැමි යුවල පමණය. ඔවුහු තරමක් ලිබරල් අදහස් දැරූවන් වූහ. ඔවුන් දෙදෙනම වෘත්තියෙන් මෙතෝදිස්ත පල්ලියේ පූජකයින් විය. පොදුවේ ඔහායෝ ප්‍රාන්තයේ විවිධ වර්ගයේ පල්ලි හංදියක් හංදියක් ගානේ තිබුනේ අපේ රටේ පංසල් මෙනි. මිනිස්සු එය ලොකු දෙයක් කර නොගත්තත් සතියකට වරක් පල්ලි ගියහ. සාමාන්‍යයෙන් ගත්විට ලංකාවේ බෞද්ධයින්ට වඩා ඇමෙරිකානුවන් පල්ලි ඇසුරු කලහ. එවැනි සමාජයක් විසින් පත්කරගත් රාජ්‍යයක් නිරාගමික ලෙස හැඳින්විය හැක්කේ මතුපිටින් පමණය.

සින්සිනෑටි නගරේයේ නැඟෙනහිර පැත්තේ සංස්කෘතිය බටහිර පැත්තේ සංස්කෘතියට හාත්පසින්ම වෙනස් විය. එහි ජීවත්වූවන් සමාන්‍යයෙන් උගත් හෝ ධනවත් හෝ ඒ දෙකටම අයත්වූ අය හෝ විය (සුදු කරපටි). ඔවුහු සංස්කෘතියෙන් ලිබරල් අදහස් දැරූ ඩිමොක්‍රැටික් පාක්‍ෂිකයින් විය. ඔබාමා පළමු වරට ඡන්දය ඉල්ලද්දී සින්සිනාටියේ පැවැති රැලිය පැවැත්වූයේ මේ පැත්තේය.

සින්සිනෑටි බටහිරටත් නැඟෙනහිරටත් සාපේක්‍ෂව සංවර්ධනය වෙමින් පැවතියේ උතුරු ප්‍රදේශයය. මේ ප්‍රදේශයේ නව නගර මංමාවත් නව වාසස්ථාන බිහිවෙමින් තිබිනි. මේ නගර බිහිවුනේ බොහෝවිට පැරණි තිරිඟු වගා බිම්වලය. සින්සිනෑටියේ උතුරු ප්‍රදේශය ජනාකීර්ණ වීම කොළඹ නගරයට සාපේක්‍ෂව මාලබේ කඩුවෙල ප්‍රදේශ ජනාකීර්ණ වීම හා සසැඳිය හැකිය. නමුත් ඇමෙරිකාවේ විශාලත්වය නිසා මේ ආකාරයට නගර බිහිවීම කොළඹට තරම් බලපෑවේ නැත. සමාන්‍ය තරුණ වෘත්තික පවුල් විශේෂයෙන්ම අප වැනි පළමු පරම්පරාවේ ආසියාතික සංක්‍රමිකයෝ වාසය කලේ නගරෙයේ උතුරු ප්‍රදේශයේය. මගේ යටි හිතේ යලි ලංකාවට යෑමට අදහසක් නොවිනි නම් බොහෝවිට අපද පදිංචිවනුයේ මේ ප්‍රදේශයේය. නමුත් ඉඩ පහසුකම් වැඩි වීමත්, මිළයෙන් අඩු වීමත්, විශ්ව විද්‍යාලයට වඩා කිට්ටුවීමත් නිසා අපි ජීවත් වීමට තෝරා ගත්තේ කොන්සවේටිව් සංස්කෘතියක් තිබි සින්සිනෑටියේ බටහිර ප්‍රදේශයය.

බටහිරත් නැඟෙනහිරත් මැද, එනම් නගර මධ්‍යයේ වැඩිපුර ජීවත්වූයේ දුප්පත් කළු ජාතිකයින්ය. නගර මධ්‍යය එතරම් සංවර්ධනය වී නොතිබිනි. විරැකියාව අධ්‍යාපන පහසුකම් මද වීම මත්ද්‍රව්‍ය භාවිතය වැනි සමාජ ප්‍රශ්ණ ගණනාවකට එහි ජීවත්වූ කළු ජාතිකයින් මුහුණ දී සිටියහ. දාමරික ක්‍රියා නිතර සිදුවුන බැවින් සමහර ප්‍රදේශවල කරක් ගැසීම ආරක්‍ෂිත නොවිනි.

සින්සිනෑටි බටහිර ප්‍රදේශයේ සිට නගර මධ්‍යයට දිනපතා මා රැකියාවට ගියේ කළු ජාතිකයින් වෙසුනු ප්‍රදේශ හරහා නමුත් ඔවුන්ගෙන් මට අනතුරක් වෙතැයි සාමාන්‍යයෙන් මට නොසිතිනි. නමුත් ඔහායෝ ප්‍රාන්තයේ හැදුනු වැඩුනු අපේ පර්යේශණ කණ්ඩායමේ කාර්මික ශිල්පියෙක්වූ මගේ සුදු ජාතික මිතුරාට කළු ජාතිකයින් පිළිබඳ මට නොතිබුනු බියක් තිබිනි. රෝහලින් මීටර් පනහක් පමණ දුරින් වූ තැපැල් කාර්යාලයට මහ දවාලේ පවා ඇවිද යන්නට ඔහු මැලි කලේ එහි නිතර ගැවසුනු කල්ලන් ඔහුට අනතුරක් කරාවි යැයි සැක කල බැවිනි. මේ අනියත බිය පොදුවේ බොහෝ සුදු ජාතිකයින්ට අඩුවැඩි වශයෙන් තිබුනැයි මම සැක කරමි. එය හුදෙක් ජාතිවාදයක් නොව ඊට සම්බන්ධ හෝ කිසිම සම්බන්ධයක් නැති වෙනත් බියකි. බොහෝවිට එය ඉතිහාසයෙන් ඇමෙරිකානු සුදු සමාජයට දායාද වෙන කරුමයක් විය හැකිය. කෙසේ නමුත් සින්සිනෑටි නගර මැද කල්ලන් ඇමෙරිකාවේ වෙනත් ප්‍රධාන නගර වල මෙන්ම පොලීසිය හා නිතර ගැටුනි. මේ ගැටුම් වලට සුද්දන් කල්ලන් කෙරෙහි දැක්වූ අනියත බියද හේතුවුනි. 2001 දී සින්සිනෑටි නගරයේ කළු ජාතික තරුණයෙක් ඝාතනයෙන් පසුව දින තුනක් පුරා ගෙනගිය උද්ඝෝශණ ව්‍යාපාරය (සුද්දන්ට අනුව කලකෝලාහලය, රයට්ස්) නවතා දැමුනේ ඇඳිරි නීතිය පැනවීමෙන් පසුවය. අවසානයේ මේ ගැටුමත් වෙනත් සුදු-කළු ගැටුම් මෙන්ම විසඳුනේ කල්ලන්ට සාධාරණයක් වෙන ලෙස නොවේ.

සින්සිනෑටියේ ජීවත්වූ අවසන් වසර දහය සුව පහසුවෙන් විවේකීව ගෙවුනු කාලයක් විය. මා ශිෂ්‍යයෙකු වශයෙන් එහි යනවිට මහත් හුදෙකලා ගතියක් දැනුනද ඒ වනවිට මා හුදෙකලාවට පුරුදුවී සිටියෙමි. ඉඳහිට රටේ සිදුවුනු දේශපාලන හැල හැප්පීම් හැරුනු කොට මගේ අවධානය යොමුවුනු වැදගත් දෙයක් එහි සිදුනොවිනි. ඊට වඩා ලංකාවේ දේශපාලනය, ක්‍රිකට්, සමාජ ගැටුම් මම ඕනෑකමින් විමසුවෙමි. සින්සිනෑටිය ඒකාකාරිත්වයෙන් මිදුනේ කලින් කලට සිදුවූ සෘතු මාරුව නිසාය.

මා වැඩි ශ්‍රමයක් හා කාලයක් වැය කලේ රැකියාව සඳහාය. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය තුල විද්‍යා පර්යේශණ ක්‍ෂේත්‍රයේ වෘත්තිකයෙක් වන්නේ කෙසේද යන්න මම ඒ තුලින් ඉගෙන ගතිමි. නමුත් මා ආචාර්ය උපාධිය සඳහා පර්යේශණය ආරම්භ කරද්දී ඉබා ගාතේ ගියාක් මෙන්ම වෘත්තියේද මුල් කාලයේ මට ඉබා ගාතේ යන්නට සිදුවිනි. ඊට හේතුව වුනේ වසර ගණනාවක් ඇමෙරිකාවේ ජීවත්ව තිබුනද එහි ස්ථිර රැකියාවක් කර පල පුරුද්දක් මට නොතිබුනු බැවිනි. සාමාන්‍යයෙන් ඇමෙරිකානුවෝ පාසල් යන වියේ සිටම රැකියා කිරීමට පුරුදු වෙති. මෙහි පුරුදු වෙනවා යන්නෙන් මා අදහස් කරන්නේ රැකියාවේ කරන දේ පිළිබඳ පුරුද්දක් ලැබීම නොව රැකියාවක සේවකයා සහ ස්වාමියා අතර ඇති ගණුදෙනුව පිළිබඳව පැහැදිලි අවබෝධයක් සහ නිවැරදි ආකල්පයක් ලබා ගැනීමය. ඇමෙරිකාවේ වත්මන් ජනාධිපතිවරයා සිය දියණියන් රැකියා සඳහා යැවීමෙහි යම් දේශපාලණයක් තිබිය හැකි නමුදු ඔහුට ඒ සඳහා ඇමෙරිකානු සංස්කෘතියෙන් එන බලපෑමක් නැතැයි කිව නොහැකිය. රැකියාවක වගකීම ඉසිලීමට ඉගෙන ගැනීම ජීවිතයේ වැදගත් කටයුත්තක් ලෙස ඇමෙරිකානුවෝ සලකති. නමුත් ලංකාවේ අපි එසේ නොවේ. බහුතරයක් අපි රැකියාවකට යන්නේ වයස අවුරුදු විසි ගණන්වල වැඩිහිටි තරුණයින් වශයෙනි. එසේ ගියද සේවක-ස්වාමි ගණුදෙනුව ගැන අපි පැහැදිලි අවබෝධයක් ලබාගන්නේ නැත. එය කුමක් දැයිවත් අපි නොදන්නෙමු. ඊට හේතු කිහිපයක් තිබෙන්නට පුළුවන. එකක් මුදල් මඟින් ගණුදෙනු කිරීමට අප සංස්කෘතියේ ඇති අවස්තිථියය. අනික කුලියට වැඩ කිරීම පහත් දෙයක් ලෙස සැලකීමය. නමුත් රැකියාවක් කිරීම යනු තමන්ගේ ශ්‍රමය ලබාදී ඒ වෙනුවට මුදල් අය කරගැනීමය. නැත්නම් කුලී වැඩකි. ඒ නිසා බටහිර සංස්කෘතියේ රැකියා කරන ජීවන ක්‍රමයක් අනුගමණය කරන්නේනම්  අපිට එක්කෝ රැකියා කිරීම පිළිබඳව බටහිර ආකල්ප වලට අනුගත වීමට සිදුවේ එසේ නොහැකි නම් අඩු තරමින් ඒ පිළිබඳව අපේමවූ ආකල්ප පද්ධතියක්වත් ගොඩනඟා ගත යුතුය.

මගේ අත්දැකීමට අනුව වෘත්තිය තමන් විසින් තමන් සඳහා ගොඩනඟා ගත යුතු දෙයකි. රැකියාව කරන ආයතනය තමන්ගෙන් බලාපොරොත්තු වන්නේද එයය. ඉන් අදහස් වන්නේ අනුන් පාගා දමමින් වෘත්තියේ ඉහලට යා යුතු බව නොවේ. නමුත් ලංකාවේ බොහෝ විට කරන්නාක් මෙන් කාටවත් නොදැනෙන ලෙස ලැජ්ජාවෙන් බයෙන් තමන්ට කර ගැනීමට උත්සාහ කිරීමද නිවැරදි ක්‍රමය නොවිනි. තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කිරීමද රැකියාව සුරැකීමට ප්‍රමාණවත් නොවිනි. මගේ ක්‍ෂේත්‍රයට අනුව නියමිතව තිබුනේ මගේම වූ යම් තාක්‍ෂණික දැනුමක් ගොඩනඟා එය වර්ධනය කරගැනීමය. ගොඩනැඟුන දැනුම හරහා යම් දේශපාලන බලයක් ගොනඟා ගතයුතුවිනි. ඒ දේශපාලන බලය හරහා මා ගොඩනඟා ගත් දේ තවත් ප්‍රවර්ධනය කල යුතුවිනි. මේ චක්‍රය පවත්වාගෙන යාම රැකියාවේ මතු පිටින් නොපෙනුන මූලික කාර්ය විය. පැහැදිලිවම මේ ක්‍රියාවලිය මගේ දැක්මත් සමඟ පෑහුනේ නැත. කෙසේ නමුත් ක්‍රමයෙන් මම ඊට අනුගත වී රැකියාවේ යම් සාර්ථකත්වයක් අත් කරගත්තෙමි. ඒ නොපෑහීම සම්පූර්ණයෙන් සැඟවීමට නොහැකිවූ නිසා රැකියාවේ තෘප්තිකර බව අඩුවුනමුත් රැකියාවේ තිබි ස්වාධීනත්වය මම මහත් සේ අගය කලෙමි. කුඩා කල සිට මා විද්‍යාඥයෙකු වීමට පැතුවේ නැතිවුනද දැනුම ලබා ගැනීමට බලවත් කැමැත්තක් මා තුල විය. දැනුම සොයා යෑම සඳහා සීමා සහිත නිදහසක් මගේ වෘත්තියේ තිබිනි.

මා පර්යේශණ කල ක්‍ෂේත්‍රය තුල ජීව විද්‍යාඥයින්, වෛද්‍යවරුන්, ඉන්ජිනේරුවන්, ගණිතඥයින්, භෞතික විද්‍යාඥයින් ආදී වශයෙන් විවිධ විශයන්හි විශේෂඥ දැනුමක් ඇති උගත්තු වැඩ කලහ. බොහෝවිට එකම කණ්ඩායමක් තුල මේ සැමදෙනෙක් පාහේ එකට වැඩ කලහ. එවිට එක් අයෙකුගේ විශය පිළිබඳව පුළුල් දැනුමක් අන් අයට නොතිබිනි. නමුත් කණ්ඩායම් රැස්වීම් වලදී ඉතා ධනාත්මක ලෙස එකිනෙකා සමඟ අදහස් හුවමාරු කරගැනීමට තරම් බුද්ධිමය විනයක් සහ අවංකභාවයක් ඔවුන්ට තිබිනි. මේ ගුණය යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ හැදුනු වැඩුනු උගතුන් තුල උසස් මට්ටමකට තිබිනි. පළමු පරම්පරාවේ සංක්‍රමණිකයින් වූ මා වැන්නන්ට, විශේෂයෙන්ම ආසියාතිකයින්ට මේ ගුණය පිහිටා තිබුණේ සාපේක්‍ෂ වශයෙන් අඩු මට්ටමකටය. නමුත් කල් ගතවත්ම සුද්දන්ගේ අභාශය තරමක් දුරට මට ලැබුණේ යැයි මම සිතමි.

සාම්‍යයන් අතර කෙරෙන බුද්ධිමය සංවාදයකදී සුද්දෝ අවංක භාවයත් විනයත් රැකීමට උනන්දුවූහ. එයින් කියවෙන්නේ ඔවුන්ට පොදුවේ මේ ලක්‍ෂණය ඇති බව නොවේ. ඔවුන් අධිරාජ්‍යවාදීව අප රටවලට බලපෑම් කරද්දී කිසිවිටකත් අවංක නොවෙති. එමෙන්ම සිංහලයින් සමඟ සසඳනවිටද, විශේෂයෙන්ම සිංහල ගැමියන් සමඟ සසඳන විටද සුද්දෝ වඩා අවංක යැයිද මින් නොකියවේ. නමුත් සුද්දන්ට යම් සම්මත රාමුවක් තුල සංගතව යම් යම් දේ තේරුම් ගැනීමට පුහුණුවක් ඔවුන්ගේ සංස්කෘතියෙන් ලැබේ. එහිදී ඒ රාමුව තුලට සීමාවීමට තරම් විනයකුත් සංගත අසංගත දේ එලෙස පිළිගැනීමට තරම් අවංක බවකුත් ඔවුන්ට තිබිනි. අවශ්‍යනම් මේ විශේෂ පුහුණුව ලැබෙන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ශාස්ත්‍රීය සංස්කෘතියෙන් යැයි හැඳින්විය හැකිය. අධ්‍යාපන මට්ටම වැඩි වන්නට වැඩි වන්නට සුද්දන් තුල මේ ලක්‍ෂණ වැඩියෙන් දකින්නට ලැබිනි.

මා ඉහත සඳහන් කල කරුන තේරුම් කරදෙන විශේෂ අත්දැකීමක් මට ඇත. දෙදාහේ දශකයේ මැද භාගයේ පමණ ආචාර්ය නලින් ද සිල්වා මහතා සින්සිනෑටි විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ ආරාධනයක් මත එහි පැමිණ දේශණයක් පැවැත්වීය. එහිදී ඔහු විසින් ඉදිරිපත් කලේ අයින්ස්ටයින්ගේ ක්‍ෂේත්‍ර සමීකරණයට ඔහු සහ ඔහුගේ ශිෂ්‍යයෙකු විසින් නිර්මාණය කරන ලද නව විසඳුමකි. ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාවේ ප්‍රමාණික විද්වතුන් කිහිප දෙනෙකු සභාවේ සිටියහ. ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ ප්‍රවාදයට අනුව කාලයත් සමඟ විශ්වය දිග හැරෙමින් හැකිලෙමින් ආරම්භයක් හෝ අවසානයක් නැතිව චක්‍රී්‍යව වෙනස් වෙයි. මේ කථාව සිංහල බෞද්ධ සාහිත්‍යයේ එන සංවට්ට කප්ප විවට්ට කප්ප සංකල්පයට අනුරූප විය. මෙහි සිටි විද්වතුන් කිසිවෙක් මහා පිපුරුමෙන් ඇරඹි විශ්වයක් ගැන මිස ආරම්භයක් හෝ අවසානයක් හෝ නැති විශ්වයක් ගැන විශ්වාස කලා යැයි සිතිය නොහැකිය. නමුත් ඔවුහු ආචාර්ය නලින් ද සිල්වා මහතා අයින්ස්ටයින්ගේ ක්‍ෂේත්‍ර සමීකරණයට ඉදිරිපත් කල විසඳුම පිළිගත්හ. මන්ද ඒ දැනුම් රාමුව තුල ඒ විසඳුම සංගත වූ බැවිනි. එපමණක් නොවේ ඔවුහු එය, සරල බසින් කියන්නේ නම්, සිරා වැඩක් බව ඒ මහතාට සුභ පතමින් එතැනදීම දන්වා සිටියහ. ඇත්තෙන්ම එය සිරා වැඩකි. ආචාර්ය නලින් ද සිල්වා තවත් මෙවැනි සිරා නිර්මාණ ඉදිරිපත් කර ඇත. නමුත් බොහෝ සිංහල බෞද්ධ විද්වත්තු සුද්දන් මෙන් ඒ පිළිබඳව අවංකව කථා නොකරති.

12

දෙදහස් දෙකේ දෙසැම්බර් මාසයේ මම විවාහ දිවියට පිවිසුනෙමි. අපි පැතු පරිදිම එය චාම් මංගල උත්සවයක් විනි. පවුලේ නෑ හිතවතුන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් උත්සවය කෙරුනේ බිරිඳගේ නිවසේදීමය. මම ටයි කෝට් ඇන්ඳේ නැත. කා බී අවසානයේ අපිම සංගීතය සපයමින් ගී ගයමින් විනෝද වුනෙමු. ජීවිතයේ වැදගත්ම පියවරක් එලෙස සමරන්නට හැකිවීම පිළිබඳ මම සතුටුවෙමි. අම්මා ඒ අවස්ථාවේදී අප සමඟ නොහිඳීම මහත් දුකක් ගෙනදුනි. සාමාන්‍යයෙන් අපේ පවුලේ මෙවැනි කටයුතු වලදී භාරකාරත්වය ඉසුලුවේ අම්මාය. එය අපේ සංස්කෘතියේ ලක්‍ෂණයකි. ඇමෙරිකානු සංස්කෘතියේද දරුවන් සම්බන්ධයෙන් මව්වරුන්ට පවුල තුල මූලිකත්වය ඇත. නමුත් අපේ මව්වරු හුදෙක් තම දරුවන් සම්බන්ධ භුමිකාවෙන් එපිට යන සමාජ වගකීමක්ද දරති.

මෙරට සංස්කෘතියේ පවුලක සියලු පාර්ශවයන්හි ඥාතීන් එකට බැඳ තබාගත්තේ මව්වරුය. ඒ නිසා මව්වරු පවුල් ජාලයක පුරුක් ලෙස හැඳින්විය හැකිය. මව්වරුන්ගේ ඒ කාර්ය භාරයට සමාජයේ පිළිගැනීමක් සහ ගෞරවයක් ඇත. ඒ හරහා ඔවුහු සමාජ-දේශපාලන බලයක්ද ගොඩනඟාගත්හ. අදටත් මෙරට බොහෝ දේශපාලඥයින් දේශපාලනය කරන්නේ පවුල් සහ කුල ජාල පදනම්ව බැවින් කාන්තාවන්ට, විශේෂයෙන් මව්වරුන්ට පවුල් ජාල වල පුරුක් වීම නිසා සැලකිය යුතු දේශපාලන බලයක් අතීතයේ සිටම හිමිවෙන්නට ඇතැයි සිතිය හැකිය. මගේ මවගේ පරම්පරාවත්, ඔවුන්ගේ මව්වරුනුත් පවුල් ජාල තුල පුරුක් වශයෙන් නායකත්වයක් ලබා දුන් බව මම අත්දැකීමෙන් දනිමි. නමුත් ඒ නායකත්වයේ විශේෂත්වය වූයේ ඔවුන් එය ලබා ගත්තේ පිරිමින් සමඟ තරඟ කිරීමෙන් නොවුනු බවය. සිංහල බෞද්ධ පිරිමින් ඇතුළු සමාජයම මව්වරු පවුල් ජාල ඔස්සේ ලබාදුන් නායකත්වය පිලිගත්හ. සමහරවිට අතීතයේ එය මාතෘ මූලික සමාජයක් දක්වා වර්ධනයවී තිබෙන්නටද ඇති.

මිසිසිපියේ වාසය කල ඇමෙරිකානු ස්වදේශික ජාතියක්වූ චක්ටෝවරුන් මාතෘ මූලික සමාජයක්ව පැවතියේ යැයි සැක කල හැකිය. දහනව වන සියවසේ මුල භාගයේ දී වක්ටෝවරු සුද්දන් සමඟ ගිවිසුමක් ගැසු අවස්ථාවේ (අවසානයේදී එහිදී සිදුවුනේ තමන්ගේ භුමිය සුද්දන්ට පාවාදීමක් වුනද සුද්දෝ ස්වදේශිකයින්ව අන්ඳන්නට ඇතැයි සිතිය හැක්කේ චක්ටෝවරු එම උත්සවයට සුවිශේෂ වැදගත් කමක් ලබා දුන් බැවිනි) පැවති උත්සවයේදී උසස්ම ආසන පනවා තිබුනේ වැඩිහිටි චක්ටෝ කාන්තාවන්ට බව කියවෙයි. ඒ අනුව වැඩිහිටි චක්ටෝ කාන්තාවන්ට චක්ටෝ දේශයේ වැදගත් දේශපාලන බලයක් හිමිවූවා යැයි සිතිය හැකිය.

යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය තුල මව්වරුන්ට මව් පදවිය පදනම්ව පවුල් ජාල වල පුරුක් වන්නට ඉඩක් නැත. එහි අද ඉතිරිව ඇත්තේ න්‍යශ්ටික පවුල් පමණය. ඒ නිසා සිංහල බෞද්ධ සංස්කෘතියේ මව්වරුන්ට තිබි ආකාරයේ සමාජ-දේශපාලන බලයක් ඇමෙරිකානු මව්වරුන්ට හිමි වන්නේ නැත. ලංකාවේද මගේ මවගේ පරම්පරාවේ මව්වරුන්ට හිමිව තිබූ සමාජ-දේශපාලන බලය ඊට පසු පරම්පරා වල මව්වරුන් අතින් ක්‍රමයෙන් ගිලිහී යමින් පවතියි. වත්මන් ලාංකික සමාජයේ තරුණ මව්වරුන්ට එවැනි පවුල් ජාල පවත්වාගෙන යන්නට උචමණාවක්වත්, උචමණාව තිබුනද හැකියාවක්වත්, ඒ දෙකම තිබුනද සංස්කෘතියෙන් ඒ සඳහා ඉඩක්වත් ලැබෙන්නේ නැත.

නමුත් අද ඇමෙරිකාවේ මෙන්ම මෙරට කාන්තාවන්ටත් වෙනස් ආකාරයේ නායකයින් වෙන්නට බටහිර සංස්කෘතියෙන් ඉඩක් ලබාදී ඇත. එසේ නායකයින් වෙන ආකාරය අපේ රටේ ඊනියා නායකත්ව පුහුණු කඳවුරු වල කියාදෙයි. නමුත් අපේ කාන්තාවන්ට තබා පිරිමින්ටවත් මේ පුහුණුව හරි හැටි ඇඟට වැටේදැයි සැක සහිතය. ඒ පුහුණුව ලබා ගැනීම සඳහා තවමත් අපි සංස්කෘතියෙන් හැඩ ගැසී නැතැයි මම සිතමි. නමුත් ඇමෙරිකාවේ කාන්තාවන්ට ඒ ආකාරයේ නායිකාවන් වීමට හැකිය. එවැනි නායිකාවන් ඇමෙරිකානු විශ්ව විද්‍යාල ක්‍ෂේත්‍රය තුලත් වෙනත් ක්‍ෂේත්‍රවලත් මට කොතෙකුත් මුණ ගැසී ඇත. ඔවුහු ගති පැවතුමෙන් ඔවුන් හා සමාන තනතුරු දැරූ පිරිමින් ගෙන් එතරම් වෙනස් නොවූහ. බොහෝවිට ඔවුන් පිරිමින් හා සමාන පෞර්ශයක් ආරෝපනය කරගැනීමට උත්සාහ ගත්හ. ඇතැම්හු පිරිමින්ගේ ඇඳුම් වලට තරමක් සමාන ඇඳුම් ඇන්ඳාහ. බොහෝවිට ඔවුන්ට තම නායකත්ව රැක ගැනීම සඳහා පිරිමින් සමඟ තරඟ කරන්නට සිදුවිනි. බටහිර සංස්කෘතියේ ඉහල පිළිගැනීමක් ඇති හිලරි ක්ලින්ටන්, මැඩලින් ඔල්බ්‍රයිට් වැනි කාන්තාවන් සහ එතරම් පිළිගැනීමක් නැති රිපබ්ලිකන් පක්‍ෂයේ සේරා පේලින් අතර ගති පැවතුම් සහ අඳින පලඳින ආකාරයේ වෙනසින් බටහිර සංස්කෘතිය අපේක්‍ෂා කරන නායකත්ව ලක්‍ෂණ හඳුනාගත හැකිය.

අපිද අද සාමාන්‍යයෙන් නායකත්ව ලක්‍ෂණ ලෙස පිළිගන්නේ බටහිර සංස්කෘතිය විසින් සාදා දෙන ලක්‍ෂණය. ඒ ලක්‍ෂණ පිරිමින්ටත් ගැහැණුන්ටත් පොදුය. නමුත් මේ ලක්‍ෂණ නැතිවද අපේ මව්වරු මෙරට සංස්කෘතිය තුල නායිකාවන් වූහ.

මා මිසිසිපියේ රැකියාවට ගියේ එතැන ටික කලක් රැඳී සිට ලංකාවේ පදිංචියට යන අරමුණිනි. නමුත් පවුලක් වීමත් සමඟම ක්‍රමයෙන් ඒ අරමුණ යටපත් වී ගියේය. ලංකාවට යෑම කල් දැමිනි. මගේ බිරිඳ එම විශ්ව විද්‍යාලයේම ආචාර්ය උපාධියක් සඳහා ඇතුලත් වූවාය. ඒ වනවිට මා ඇමෙරිකාවට පැමිණ වසර දහයක් පමණ ගතවී තිබිනි. මගේ මිතුරෝ උඹ හැමදාමත් ලංකාවට යනවා කිය කියා මෙහෙම ඉන්නවා නේදැයි කොලොප්පමට ඇසූහ. එසේ ඇසීම අසාධාරන නොවිනි. ඒ වනවිට නැවත ලංකාවට යෑම සඳහා මම උත්සාහයක් ගෙන නොතිබිනි. නමුත් මා ඇමෙරිකාවේ ජීවත්වූනු කාලය පුරාම එහි ජීවත්වූයේ එය මගේ රට නොවේ යන හැඟීමෙනි. මා ලංකාවට යනවා යැයි කීමේ පදනම එය විය. මට ලංකාවට යෑමේ උවමණාවක් යලි ඇති වූයේ අපේ එකම දරුවාගේ උපතත් සමඟය. ඒ තවත් වසර හතකට පමණ පසුවය.

මිසිසිපිය මගේ රැකියාවේ ඉදිරි ගමනට සුදුසු තැනක් නොවිනි. එහි පර්යේශණ කිරීම සඳහා පහසුකම් මද විය. මගේ කටයුතු බොහොමයක් සඳහා විවිධ ක්‍ෂේත්‍රවල විද්වතුන් කණ්ඩායමක සහභාගීත්වය අවශ්‍ය වුනද එහි ඒ සඳහා උනන්දුව ඇති විද්‍යාඥයින්ගේ හිඟයක් විනි. කැලිෆෝර්නියාවෙන් එද්දී බොහෝ දෙනා මේ පිළිබඳව මට අවවාද කලද මා එ ගනන් නොගත්තේ එකල මගේ අරමුණු වෙනස්වූ බැවිනි. වසර දෙකකට පසුව මගේ අවශ්‍යතා වෙනස් වී තිබිනි. මම රැකියා අවස්ථා පිළිබඳව සින්සිනාටියේ මගේ ගුරුවරයාගෙන් විමසීමි. ඔහු කැමතිවිය.

දෙදහස් හතරේ ජනවාරියේ සින්සිනාටියේ ළමා රෝහලේ පර්යේශණ අංශයේ සහකාර මහාචාර්ය ධූරයක් ලබාගෙන අපි එහි පදිංචියට ගියෙමු. මගේ බිරිඳ පශ්චාත් උපාධිය සඳහා එම විශ්ව විද්‍යාලයට ඇතුලත් වූවාය. එතැන් පටන් ගෙදර එන තෙක් වසර දහයක් අපි සින්සිනාටියේ සැපවත් ජීවිතයක් ගෙවුවෙමු.

11

ඇමෙරිකාවේ දකුණේ ප්‍රාන්ත ගැන කියවෙන විට ඒ සමඟම කියවෙන අනිත් පදය ජාතිවාදයයි. සිවිල් යුද්ධය අවසානයේදී දකුණේ කපු කර්මාන්තය බිඳ වැටීමත් වහලුන්ට නිදහස ලැබීමත් සමඟම ආර්ථිකව වැටුනු දකුණේ සුදු ජාතිකයෝ සංවිධානාත්මකව නිදහස්වූ කළු ජාතිකයින්ව මර්ධනය කරන්නට පටන් ගත්හ. එහි වඩාත් කුප්‍රකට සිදුවීම් වූයේ කළු ජාතිකයින් පැහැර ගෙන ගොස් ප්‍රසිද්ධියේ එල්ලා මැරීමය. අවසාන වරට එවැනි ඝාතනයක් සිදුව ඇත්තේ 1964දීය. ඒ මා ජීවත්ව සිටි නගරයට හැතැප්ම අසූවක් පමණ ඈතින්වූ නගරයකය. එකල ඇමෙරිකාවේ කළු ජාතිකයින්ගේ සිවිල් අයිතිවාසිකම් සඳහා මාටින් ලූතර් කිං වැනි නායකයින් සටන් කරමින් සිටියහ. සුදු ආධිපත්‍යය සඳහා වූ ක්ලූ කලක්ස් ක්ලෑන් නමින් හැඳින්වෙන අන්තවාදී සංවිධානය මෙවැනි එල්ලා මැරීම් පිටුපස සිටි බව කියවේ. ඔවුහු කළු ජාතිකයින්ට මෙන්ම යුදෙව්වන්ටද එරෙහි වීම විශේෂත්වයකි. තමන් පිරිසිදු ආර්ය ජාතියක් යැයි ඔවුහු විශ්වාස කරති. ඔවුන් සිංහල බෞද්ධයින් ගැන කුමක් සිතුවාදැයි මම නොදනිමි. හදිසියේ හෝ එම සංවිධානයේ අයෙකු මුණ ගැසුනි නම් මා සිතා ගෙන සිටියේ ස්වස්තික ලකුණ සහිත බුදුහාමුදුරුවන්ගේ රුපයක් පෙන්වා ඔහුගෙන් ඒ ගැන විමසීමටය. වාසනාවකට හෝ අවාසනාවකට මා එහි ජීවත්ව සිටි කාලය තුල මට කේකේකේ සංවිධානයේ අයෙකු හමු නොවිනි.

කැලිෆෝර්නියාවේ මා මිත්‍ර සුදු ජාතිකයින් මට මිසිසිපියට නොයන ලෙස අවවාද කලේ එහි පැවැති ජාතිවාදය නිසාය. නමුත් මටත් එහි වසරක් පමණ කාලයක් ගතකල මගේ බිරිඳටත් කිසිදු අගතියක් එහිදී සිදු නොවිනි. ඇත්තෙන්ම අපට මුණ ගැසුනු මිසිසිපියන් සුදු කළු බේදයකින් තොරව සියලු දෙනාම පාහේ අප කෙරෙහි ඉතාම සංග්‍රහශීලීවූහ.

මා එහි ගිය අළුත මගේ අංශ ප්‍රධානියා මට නවාතැනක් සොයා ගැනීමට උදව් කරන ලෙස දෙපාර්තමේන්තුවේ තාක්‍ෂණ නිළධාරියෙකුට පැවරීය. සාමාන්‍යයෙන් ඇමෙරිකාවේ මගේ අත්දැකීමට අනුව එහිදී සිදුවන්නට තිබුනේ ඔහු විසින් විශ්ව විද්‍යාලය අසලවූ කුලී නිවාස වල දුරකතන අංක කිහිපයක් මට ලබාදීමය. නමුත් සිදුවූයේ ඔහුත් එම දෙපාර්තමේන්තුවේ ඔහුගේ මිතුරු මිතුරියන් පස් හය දෙනෙකුත් මමත් ඔහුගේ මෝටර් රථයේ නැගී නගරයේ තිබුනු සෑම කුලී නිවාස සංකීර්ණයකටම ගොස් ගණන් මිනුම් අසමින් එදා දවසම ඒ සඳහා ගත කිරීමය. එක්කෝ ඔවුන්ට වෙන වැඩක් නොතිබීනි. එක්කෝ ඔවුහු අතිශයෙන් සංග්‍රහශීලීවූහ. මට පසුව අවබෝධවූයේ ඒ දෙකම නිවැරදිවූ බවය.

අපට අගතියක් නොවුනද සුදු කළු බේදය මිසිසිපියේ අළු යට ගිණි මෙන් තිබිනි. එය සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ වර්ණ බේදයක් ලෙසටය. බටහිර අප්‍රිකාවේ වැසියන් පැහැරගෙන විත් එරට වහලුන් බවට පත් කල දා සිට අද වෙනතුරු සුද්දන් කල්ලන් කෙරෙහි විවිධාකාරයෙන් ජාතිවාදීව කටයුතු කලද කිසිදිනක ඇමෙරිකාවේ ජනවාර්ගික ප්‍රශ්ණයක් ඇතැයි කියවෙන්නේ නැත. කොටින්ම ඇමෙරිකාවේ ජනවාර්ගික ප්‍රශ්ණ නැත. එංගලන්තයේද නැත. ඕස්ටේ‍ර්ලියාවේද නැත. සුදු ජාතිකයින් සිටින අනිකුත් යුරෝපීය රටවලද ජනවාර්ගික අර්බුද නැත. ජනවාර්ගික අර්බුද ඇත්තේ බටහිර සංස්කෘතියට විරුද්ධවන ආසියාවේ සහ අප්‍රිකාවේ රටවලය. එසේ වන්නේ කෙලෙසද?

ප්‍රශ්ණය අපට සංකල්ප හදා දෙන්නේ බටහිරුන් වීමය. බටහිරුන් ඔවුන්ගේ රටවල වැදගත් යැයි සලකන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට අයත් ජාතිය පමණය. වෙන ජාතීන් එහි සිටී නම් එසේ සිටීම වැදගත් කරුණක් නොවේ. නමුත් බටහිරුන්ට විරුද්ධ අප වැනි රටවල සියලු සංස්කෘති එක හා සමාන යැයි ඔවුන් විසින් සැලකෙයි. ඔවුන්ට අනුව එක හා සමාන වැදගත් කමක් ඇති සංස්කෘතීන්ට අයත් විවිධ ජාතීන් අපේ රටවල සිටිති. ඒ නිසා ඔවුන්ගේ අර්ථ දැක්වීමෙන්ම ජනවාර්ගික අර්බුද ඇතිවිය හැක්කේ අපේ රටවල විනා ඔවුන්ගේ රටවල නොවේ. බටහිරුන්ට අනුව දහස් ගණනින් ජීවිත බිලිවෙන ම්ලේච්ඡ ජනවාර්ගික සටන් ඇත්තේ අපේ රටවලය. එක දෙක ලෙස නම් කෙරුන ඊනියා ලෝක යුද්ධ ජනවාර්ගික සටන්වත් ම්ලේච්ඡ සටන්වත් නොවේ.

ඇමෙරිකාවේ ජාතිවාදී දකුණ කල්ලන් තම විශ්ව විද්‍යාල වලට ඇතුලත් වනවාට විරුද්ධවූහ. මා රැකියාව කල මිසිසිපි විශ්ව විද්‍යාලයට ප්‍රථම වරට කළු ජාතිකයෙක් (ජේම්ස් මෙරිඩිත්) ඇතුළුවූයේ 1962 දීය. ඒ හමුදා ආරක්‍ෂා මැද අධිකරණ නියෝගයක් ක්‍රියාවට නැංවීම නිසාය. එය ඇමෙරිකානු සිවිල් අයිතිවාසිකම් සටනේ වැදගත් ජයග්‍රහණයක් විය. නමුත් ඊට වසර විස්සකට පමණ පෙරත් මම අද රැකියාව කරන කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ අංශ ප්‍රධානියාව සිටියේ මයිල්වාගනම් නම් දෙමළ ජාතික මහාචාර්ය වරයාය. මෙසේ තිබියදී මෙරට ජාතික ප්‍රශ්ණය තේරුම් ගැනීමට උගතුන් විසින් ඇමෙරිකානු අත්දැකීමට අදාල සිවිල් යුද්ධය, අධිපතිවාදය (සුප්‍රීමිසම්) ආදී සංකල්ප වග විභාගයක් නැතිව පාවිච්චි කිරීම කණගාටුවට කරුණකි.

මිසිසිපියේ සුද්දන් සහ කල්ලන් අතර ඇති ප්‍රශ්ණය බටහිරුන් කියන ආකාරයේ වර්ණ භේදයක් ලෙසවත් බටහිරුන් අපේ රටවල තියේ යැයි පවසන ජනවාර්ගික අර්බුදයක් ලෙසවත් තේරුම්ගත නොහැකිය. එය මිසිසිපියට නැත්නම් පොදුවේ ඇමෙරිකානු දකුණට ආවේනිකවූ ප්‍රශ්ණයකි. කළු-සුදු ජාතිවාදය ඉතිහාසයේ නොයෙක් ආකාරයට පැවතියද අද වෙනවිට කළු ජාතිකයින්ට සුදු ජාතිකයින් හා සමාන අයිතිවාසිකම් ඇත. ඔවුන්ට විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමේදී හා රජයේ රැකියාවල් වලට බඳවා ගැනීමේදී විශේෂ සැලකිල්ලක් දැක්වේ. නමුත් කල්ලන් සහ සුද්දන් අතර පැහැදිලි සංස්කෘතික බෙදීමක් ඇත. කල්ලන්ට (අප්‍රිකානු ඇමෙරිකානුවන්ට) ආවේනික සංස්කෘතික ලක්‍ෂණ ඇත. ඒ ලක්‍ෂණ වඩාත් ප්‍රභලව සංකේතවත් කෙරෙන්නේ රටේ ප්‍රධාන නගර මධ්‍යයේ ජීවත්වන දුප්පත් කළු සමාජයය. වහල් අතීතයක් තිබුනද ආර්ථිකව දුබලවූවද, ජන සංයුතියෙන් සියයට දහයක් පමණ වුවද අප්‍රිකානු ඇමෙරිකානු සංස්කෘතියට ඇමෙරිකානු සංගීත සහ ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ විශාල බලපෑමක් කිරීමට සමත්වී ඇත. නමුත් ඔවුන්ට දේශපාලන ශක්තියක් නැත. අධිපතිවාදී යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය ඒ ගැන වග බලා ඇත.

අප්‍රිකානු ඇමෙරිකානුවන්ගේ අයිතීන් දිනාගැනීම සඳහා හැටේ දශකයේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයක් දියත් කෙරිනි. අවසානයේ එම ව්‍යාපාරයේ මූලිකත්වය ලැබුනේ මාටින් ලූතර් කිංග්ටය. කිංග් ගේ සටන අවිහිංසාවාදී ව්‍යාපාරයක් ලෙස නම් දැරූ අතර බොහෝ සුදු ජාතිකයින්ගේත් ඇමෙරිකානු රජයේත් අනුග්‍රහය ඔහුට අඩු වැඩි වශයෙන් හිමි විය. වයස අවුරුදු 35 දී කිංග් නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවේය. ඉන් වසර හතරකට පසු ඔහු ඝාතනය කෙරිනි. කිංග් ගේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය දැඩි බලපෑමක් කලේ දකුණේ දේශපාලනයට වීම මෙහිදී සැලකිය යුතු කරුණකි. මේ වකවානුවේදීම තවත් ව්‍යාපාරයක් එහි විය. ඒ මුස්ලිම් ජාතිකත්ව ව්‍යාපාරයය. එහි නායකත්වය දැරුවේ මැල්කම් එක්ස්, එලීජාහ් මොහොමඩ් වැනි කළු ජාතික ඇමෙරිකානුවන්ය. හැටේ දශකයේ මුල් භාගය වනවිට ඔවුන්ටද සැලකිය යුතු පිරිස් බලයක් තිබුනද අභ්‍යන්තර ගැටුම් නිසාත් අවසානයේ මැලකම් එක්ස්ගේ ඝාතනය නිසාත් ඒ ව්‍යාපාරය වැලලී ගියේය.

අද ඇමෙරිකාවේ පිළිගත් මතය මැල්කම් එක්ස්ලාගේ ව්‍යාපාරය හුදු ජාතිවාදී සංවිධානයක් වූ බවය. නමුත් කිංග් ගේ ව්‍යාපාරය හා සසඳන කල මුස්ලිම් ජාතිකත්ව ව්‍යාපාරයේ වෙනසක් තිබිනි. ඔවුහු කළු ජාතික අනන්‍යතාවක් වෙනුවෙන් පෙනී සිටියහ. ඒ වනවිට අප්‍රිකානු අනන්‍යතාව ඔවුන් අතින් ගිලි හී ගොස් තිබුනමුත් ඩීට්‍රොයිට්, චිකාගෝ වැනි ප්‍රධාන නගර මධ්‍යයේ වැඩුනු මැල්කම් වැනි තරුණයින් නව කළු අනන්‍යතාවක් ගොඩනඟමින් සිටියහ. සුපිරි බොක්සිං ක්‍රිඩක ක්ලැසියස් ක්ලේ පසු කලෙක මොහොමඩ් අලි බවට පත්වූයේද මේ කළු ජාතිකත්ව ව්‍යාපාරයේ අභාශය නිසාය. සමහරවිට අප්‍රිකානු මුස්ලිමුන් සමඟ ඔවුන්ට සම්බන්ධකම් තිබෙන්නට ඇති. කෙසේ වෙතත් මැල්කම්ලාට අවශ්‍යවූයේ තමන්ට අනන්‍යතාවක් නිර්මාණය කර ගැනීමත් ඒ මත පදනම්ව අයිතිවාසිකම් දිනා ගැනීමටත්ය. නගරං කාරයෙකු ලෙස සැලකුනු මැල්කම් එක්ස් තම පූජක පියා විසින් ජර්මනියේ මාටින් ලූතර් ගේ නමින් නම් කෙරුනු උගත් මාටින් ලූතර් කිංග් සමඟ මතවාදීව ගැටුනේය. නමුත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය කිංග් ඔසවා තබමින් නැගී එන කළු ජාතිකත්ව ව්‍යාපාරයත් සිවිල් යුද්ධයෙන් පසු නැවත හිස ඔසවමින් තිබි දකුණේ ජාතිකත්වයත් දෙකම දේශපාලනිකව පරාජය කර දැමීය. මේ අතර ඇමෙරිකානු රහස් සේවය මැලකම් එක්ස් ගේ ඝාතනය පිලිබඳව දැන සිටියේ යැයි කෙරෙන චෝදනාද නොසලකා හැරිය නොහැකිය.

අප්‍රිකානු ඇමෙරිකානුවන්ට තමන්ගේ සංස්කෘතික අනන්‍යතාව මත පදනම්ව දේශපාලන බලයක් ලබා ගැනීමේ උවමණාව තවමත් නොසංසිඳී පවතියි. ඇමෙරිකාවේ විටින් විට කළු සුදු ගැටූම් ඇති වන්නේ ඒ නිසාය. ලිබරල් අදහස් දරන උතුර කල්ලන් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට උත්සාහ දරයි. නමුත් කොන්සවේටිව් දකුණ කල්ලන් තම සමාජයට වද්දා නොගැනීමට උත්සාහ දරයි. ඇමෙරිකාවේ උතුරත් දකුණත් කල්ලන් සම්බන්ධයෙන් දක්වන ආකල්පවල ප්‍රධාන වෙනස එයයි. දකුණේ කල්ලෝද සුද්දන්ගෙන් වෙන්ව ජීවත්වීමට එතරම් අකමැත්තක් නොදක්වන බැවින් යම් සමතුලිතතාවක් දකුණු සමාජයේ තහවුරුවී ඇත. මා යම් හෙයකින් දකුණේ සුද්දන්ගේ සමාජයට ඇතුළු වන්නට උත්සාහ කලේ නම් ඔවුන් මට ජාතිවාදී වන්නට ඉඩ තිබිනි. (බොහෝවිට මගේ ලිබරල් මිතුරන් අනුමාන කලේ එවැනි දෙයක් වන්නට ඇති) නමුත් මට එවැනි උවමණාවක් නොතිබිනි. සිතින්ද පැතුමෙන්ද මම එරටේ සංචාරකයෙක් වුනෙමි. ඒ බව වටහා ගත් බැවින්දෝ දකුණේ සුද්දෝ මෙන්ම කල්ලෝද මට ඉතහිතින් ආගන්තුක සත්කාර කලහ.

මා ජැක්සන් නගරයේ වෙසෙන කල මගේ දෙමව්පියෝ මා දැකීමට පැමිණියහ. ඒවනවිට ඔවුන් දෙදෙනාම රජයේ සේවයෙන් විශ්‍රාම ගොස් සිටියහ. ඒ වනවිට මගේ සහෝදරයාත් සහෝදරියත් විවාහ වී ගෙන් පිටව ගොස් සිටි නිසා ඔවුන්ට පාළුවක් දැනෙන්නට ඇති. අම්මාගේ කථා බහෙන් මට හැඟුනේ ඈට අප හා සමඟ ජීවත්වීමට තිබුනු කැමත්තය. ඒ වනවිට දරුවන් නොසිටි අප කා හටවත් ඒ හැඟීම එලෙසම දැනුනාදැයි සැක සහිතය. අද මට පියෙකු වශයෙන් ඇගේ හැඟීම තේරුම් ගත හැකිය. කෙසේ වෙතත් ඇගේ මුණුබුරන් කිසිවෙකුද මුණ ගැසීමට පෙර ජැක්සන් නගරයේ මා සමග සිටියදී මගේ මව හෘදයාබාදයකින් මිය ගියාය.

ඇගේ හුස්ම නතරවූයේ මාත් පියාත් ඇය රෝහලට රැගෙන යන අතරතුරේදීමය. රෝහලේදී වෛද්‍යවරුන් විසින් ඇගේ හෘදයේ ක්‍රියාකාරිත්වය ප්‍රකෘති තත්වයට පත් කලද ඈ සිහි එළඹුනේ නැත. එතැන් පටන් මියයන තුරු මාස තුනක පමණ කාලයක් මගේ මව සිටියේ සිහිසුන්වය (කෝමා). ස්කෑන් පරික්‍ෂණ මඟින් ඇගේ මොළයේ විශාල ප්‍රදේශයක් විනාශ වී ඇතැයි කියැවිනි. හෘදය ක්‍රියාකාරී වුනද ඈ හුස්ම ගත්තේ කෘතිම යන්ත්‍රයක ආධාරයෙනි. ආහාර ලබා දුන්නේ නල මාර්ගයකිනි. මේ යාන්ත්‍රික ආධාර නතර කල විට හෘදයේ ක්‍රියාකාරිත්වය නතරවී අපි හඳුනනන ආකාරයට ඇගේ මරණය සිදුවන්නට නියමිතව තිබිනි. වෛද්‍යවරුන්ගේ මතය වූයේ ඇගේ මොළයේ ක්‍රියාකාරිත්වය නතරවී ඇති බැවින් ඈ දැනටමත් මරණයට පත්වී ඇති බවය. ඒ නිසා යාන්ත්‍රික ආධාර දීම නතර කිරීමට අවසර දෙන මෙන් වෛද්‍යවරු අපේ පවුලෙන් ඉල්ලා සිටියහ.

මොළයේ ක්‍රියාකාරිත්වය නතරවීම යනු මරණය යන්න බටහිර වෛද්‍ය විද්‍යාවේ එන සම්මුතියකි. වෛද්‍යවරුන් වෙත අපෙන් යොමුවුනු ප්‍රශ්ණයවූයේ අපේ මව නැවත සිහි ගැන්වීමට කිසිම අවස්ථාවක් නැතැයි නිශ්චිතව කිව හැකිද යන්නය. ඔවුන්ට එයට පිළිතුරක් නොවිනි. ඉතා කුඩා ප්‍රමාණයක මොළයේ ක්‍රියාකාරිත්වයෙන් යුතුවද සාමාන්‍ය ජීවිත ගත කරන දුර්ලභ අවස්ථා ඇත. අපේ පවුල පැතුවේ එවැනි දුර්ලභ අවස්ථාවකි. බෞද්ධයින් වුවද අපිට වෙනත් ප්‍රශ්ණයක්ද තිබිනි. ඒ අපේ මවගේ ආත්මය ජීවත්වීමට බලාපොරොත්තුවෙන් තවමත් අප සමඟ සිටියේද යන්නය. එසේ සිටි බව අපට දැන ගැනීමට හැකිව තිබුනි නම් ඇය ජීවත් කරවීමේ අභිලාශයෙන් යාන්ත්‍රික ආධාර එලෙසම පවත්වාගෙන යාමට අප කටයුතු කරනු ඇත. නමුත් එය දැන ගැනීමට හැකියාවක්ද නොතිබිනි.

වෛද්‍යවරු දිනපතා අප හමුවී යාන්ත්‍රික ආධාර නතර කරන ලෙස අපෙන් ඉල්ලා සිටියහ. ඔවුන්ගේ ඉල්ලීම ඉතා ආචාරශීලීව කෙරුනද එය අපට සහනයක් නොවුනේ ඔවුන්ට අපේ ප්‍රශ්ණ වලට පිළිගත හැකි පිළිතුරු නොවුනු නිසාය. මෙසේ තුන් මසක් තිස්සේ වෛද්‍යවරුන් සමඟ කඹ ඇද අවසානයේ මවගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ද අක්‍රිය වෙමින් පවතින බව කියැවුන බැවින් අපි යාන්ත්‍රික ආධාර නතර කිරීමට තීරණය කලෙමු. බටහිර වෛද්‍ය විද්‍යාවට අප ඒත්තු ගැන්වීමට නොහැකි වුනද අවසානයේ අපිට එහි මතය පිළිගැනීමට සිදුවිනි. ප්‍රශ්ණය වූයේ බටහිර වෛද්‍ය විද්‍යාව විසින් නිර්මාණය කෙරුන නව තාක්‍ෂණික වටපිටාව තුල මරණය පිළිබඳ ප්‍රවාදයක් අපේ සංස්කෘතිය තුල නොවීමය.

10

ඊලඟ වසර දෙක පමණ කාලය මා ගත කලේ මිසිසිපි ප්‍රාන්තයේ අගනුවර වූ ජැක්සන් නගරයේය. මිසිසිපි යනු ඇමෙරිකාවේ එක් ස්වදේශික ගෝත්‍රයක් මහා ගංගාවට ඔවුන්ගේ බසින් කී නමය. මිසිසිපි ගඟ යාබදව ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු කෙලවරේ පිහිටි මිසිසිපි ප්‍රාන්තය ඇමෙරිකාවේ දුප්පත්ම ප්‍රාන්තය ලෙස සැලකෙයි.  කලකට ඉහතදී අපේ රටේ ගම්ද මේ මිම්මෙන් දුප්පත් ලෙස සැලකුනත් ඒකල අපේ ගම් දුප්පත් නොවුනු බව අපි දනිමු. නමුත් ජැක්සන් නගරයත්, ප්‍රාන්තයේ අනෙක් බොහෝ කුඩා නගරත් සැබෑවටම දුප්පත්ය. එහි කැඩී බිඳී ගිය ගොඩනැඟිලි, වල් වැදුනු හිස් ඉඩම්, පිලිසකර නොකල මහා මාර්ග සැම තැන දැක ගත හැකිය. නගර මධ්‍යයේ බොහෝ ගොඩනැඟිලි වසර පනහක් සියයක් පමණ පැරණි ඒවා විය. (සාමාන්‍යයෙන් අපේ පිටරට ගිය ඇත්තන්ගේ සෙල්ෆී වලින් මෙවැනි නගරත් ඇමෙරිකාවේ ඇතැයි දැන ගන්නට ලැබෙන්නේ නැත). නමුත් ඒ කිසිවකටත් වඩා මිසිසිපි දුප්පත් කරවූයේ එයද රටේ අනිත් ප්‍රාන්ත, විශේෂයෙන්ම උතුරේ ප්‍රාන්ත, ගිය ආර්ථික ගමන යන්නට ගොස් අතරමංව සිටි බැවිනි. නමුත් චක්ටෝ නම් ස්වදේශික ජාතියක් අනාදිමත් කාලයක සිට මිසිසිපියේ සමෘදිමත් ලෙස ජීවත්ව හිඳ තිබිනි. යුරෝපීයෝ එහි පැමිණෙන තෙක් තත්වය එසේවීය.

සංස්කෘතික වශයෙන් මිසිසිපි ඇමෙරිකාවේ දකුණ නියෝජනය කලේය. පොදුවේ ඇමෙරිකාවේ දකුණේ මිනිස්සුන්ගේ ගති පැවතුම් හා ආකල්ප උතුරේ මිනිස්සුන්ගේ ගති පැවතුම් හා ආකල්ප වලට වඩා කැපී පෙනෙන ලෙස වෙනස්ය. නමුත් එහි මා දුටු විශේෂත්වය වූයේ දකුණේ මිනිස්සු තමන්ට අනන්‍යතාවක් පවත්වා ගැනීමට උනන්දුවක් තිබුනද උතුරේ මිනිස්සුන්ට එවැනි අවශ්‍යතාවක් නොතිබීමය. මේ උනන්දුව දකුණේ පල්ලි වලද දක්නට ලැබිනි. දකුණේ පල්ලි දකුණේ මෙතෝදිස්ත, දකුණේ බැප්තිස්ත ආදී වශයෙන් වෙන් කර හඳුන්වාගෙන තිබුනද උතුරේ පල්ලි උතුරේ ලෙස නම් කරගෙන නොතිබිනි. මේ අසමමිතික බව තේරුම්ගත හැක්කේ ඇමෙරිකානු උතුරු-දකුණු සිවිල් යුද්ධය හැදෑරීමෙනි. සිවිල් යුද්ධය තේරුම් ගත හැක්කේ ඇමෙරිකානු රාජ්‍යය ගොඩනැඟීමේ ව්‍යාපෘතිය අධ්‍යයනය කිරීමෙනි.

යුරෝපීයෝ ඇමෙරිකානු රාජ්‍යය ගොඩනැඟීමේදී, නැඟෙනහිර වෙරලින් පටන්ගෙන 18-19 සියවස් පුරා, ස්වදේශිකයින්ගේ නිජ බිම් ආක්‍රමණය කරමින් බටහිර වෙරල දක්වා ගමන් කලහ. විටෙක ඔවුන් හමුදාව යොදා ඝාතනය කෙරිනි. යුධයෙන් පරාජය කල නොහැකි විට ඔවුන් සමඟ ගිවිසුම් ගැසූහ. ඉංග්‍රීසීන් උඩරට සිංහලයන් සමඟ කුප්‍රකට ගිවිසුම ගසා දශකයකට පමණ පසු චක්ටෝවරුන් මිසිසිපි ප්‍රාන්තයේ සිය ඓතිහාසික නිජ බිම ඇමෙරිකාවේ සුද්දන්ට ලියාදී මිසිසිපි ගංඟාවෙන් බටහිර භුමි ප්‍රදේශයකට සංක්‍රමණයවූහ. සුද්දෝ එහි ඔවුන්ට ස්වාධීන ජාතියක් වශයෙන් රාජ්‍යයක් කරවීමට ඉඩ දෙන බවට පොරොන්දුවුහ. නමුත් බලාපොරොත්තු විය යුතු පරිදිම ඉන් වසර පනහකට පසු ඒ භුමියද එක පෑන් පහරකින් නැගී එන ඇමෙරිකා එක්සත් ජනපදයට ඈඳා ගැනිනි. මිසිසිපියේ චක්ටෝ වරුන් සුද්න්ගේ ඊනියා සංරක්‍ෂිතයක පදිංචි කරුවන් වෙමින් රටක් අහිමි ජාතියක් බවට පත් කෙරින.

ඇමෙරිකානු රාජ්‍යය ගොඩනැඟීමේ ව්‍යාපෘතිය විසින් ස්වදේශිකයින් ඔවුන්ගේ නිජ බිම් වලින් පලවා හැර ඊනියා සංරක්‍ෂිත වලට ගාල් කෙරිනි. මේ ගාල් කිරීම් වලට තැනිතලාවල ජීවත්වුනු සියොක්ස් වැනි ජාතීන් ප්‍රබල ලෙස ප්‍රතිරෝධය දැක්වූහ. සියොක්ස් යනු ඇමෙරිකානු බෆලෝ නැත්නම් බයිසන් නමින් හැඳින්වෙන ගවයන් දඩයම් කරමින් තැනිතලාවල ජීවත්වූ සංක්‍රමණික ජාතියකි. තැනිතලාවල බයිසන් ගවයන් වෙසෙන තාක් කල් සියොක්සියන් මැඩ පැවැත්විය නොහැකි බව දැනගත් ඇමෙරිකානු රජය හමුදාව යොදා බයිසන් ගවයන් සහමුලින් ඝාතනය කර දැමීය. 19 වන සියවස අග භාගය වනවිට මිලියන තිහක් පමණවූයේ යැයි තක්සේරු කෙරුන බයිසන් ගවයන්ගෙන් ඉතිරි වී සිටියේ සිය ගණනක් පමණය. සියොක්සියෝ කර කියා ගත නොහැකිව සිය කැමැත්තෙන්ම ඊනියා සංරක්‍ෂිත වලට වැදුනහ. අද ඔවුන් මෙන් බොහෝ ස්වදේශික ජාතීහු ඇමෙරිකානු සමාජයේ අඩි පතුලෙන් ගොඩ ඒමට නොහැකිව ජීවත් වෙති. දෛවයේ සරදමකට මෙන් පසුගිය අප්‍රේල් මාසයේ ඔබාමා අතින් ඇමෙරිකාවේ ක්‍ෂීරපායි සත්වයා ලෙස නම් කෙරුනේද බයිසන් ගවයාමය.

බයිසන් ඝාතන සැලැස්මේ මොළ කරු වූයේ එවකට ඇමෙරිකානු එක්සත් ජනපදයේ හමුදාපතිව සිටි ජෙනරාල් ෂර්මන්ය. ෂර්මන් ඊට දශකයකට පමණ පෙර නිමවූ ඇමෙරිකානු උතුරු-දකුනු සිවිල් යුධයේදී රණ ශුරයෙකු ලෙස නමක් දිනාගෙන සිටියේය. සිවිල් යුද්ධයේදී ෂර්මන් නියෝජනය කලේ ඒබ්‍රහම් ලින්කන්ගේ උතුරය. ෂර්මන්ගේ මූලෝපාය වූයේ සතුරාගේ භව බෝග සම්පත් විනාශ කර සතුරා මැඩ පැවත්වීමය. ඉංග්‍රීසීහු ඊට වසර පනහකට පෙර වෙල්ලස්සේ නිදහස් සටන මර්ධනය කලේද ඒ ක්‍රමයටය. ෂර්මන් ඇතුලු උතුරේ හමුදාවන් ඉංග්‍රීසීන්ගේ විදික්‍රම දැන ගෙන සිටියාට සැකයක් නැත. ෂර්මන්ගේ හමුදා දකුණේ ගම් නගර පුළුස්සා දමමින් දකුණු මුහුද දෙසට ගමන් කලහ. ඒ වනවිට චක්ටෝවරුන් මිසිසිපිය හැර ගොස් තිබිනි. ඔහු මා ජීවත්වුනු ජැක්සන් නගරයේ ඉතිරි කරන ලද්දේ දුම් කුළුනු පමණක් බව කියවෙයි. ෂර්මන්ගේ බයිසන් දඩයමද මේ ක්‍රමවේදයම විය.

ෂර්මන් රණ ශුරයෙකු කල ඇමෙරිකානු සිවිල් යුද්ධය යුරෝපයේ කාර්මික විප්ලවය හා බැඳුනකි. 19 වන ශත වර්ශය වනවිට ඉංග්‍රීසීහු ඉංදියාවේ භාවිතාවුනු කපු කටින යන්ත්‍රය ස්වයංක්‍රීය කර මහා පරිමාණ ලෙස රෙදි විවීම සඳහා යොදා ගෙන තිබිනි. ඊට සමගාමීව ඇමෙරිකාවේ දකුණේ ප්‍රාන්ත අප්‍රිකානු වහලුන්ගේ ශ්‍රමයෙන් කපු නිශ්පාදනය කර යුරෝපයට ආනයනය කරමින් මහත් සේ ලාභ ලබමින් සිටියහ. 1861 දී ඇමෙරිකානු සිවිල් යුද්ධය ඇතිවූයේ මේ අතර වාරයේදීය. යුද්ධය ඇතිවීමට හේතුව ලෙස ඇමෙරිකානු සමාජය අද සාමාන්‍යයෙන් පිළිගන්නේ මෙවැනි කථාවකි:

“ඒබ්‍රහම් ලින්කන්ගේ ආණ්ඩුව අප්‍රිකානු වහලුන් නිදහස් කිරීමට තීරණය කලේය. කපු කාර්මාන්තය උදෙසා වහල්භාවය එලෙසම පවත්වාගැනීමට අවශ්‍යවුනු දකුනේ ප්‍රාන්ත ඊට විරුද්ධ වී රාජ්‍යයෙන් වෙන්වීමට උත්සාහ කලේය. රාජ්‍යය දෙකඩවීමට විරුද්ධව ආණ්ඩු බලය අල්ලාගෙන සිටි උතුරේ ප්‍රාන්ත දකුණ හා සටන් වැදිනි.”

වහලුන්ගේ කථාව ඈඳා ගැනීම නිසා උතුරේ මෙහෙයුමට මානුශීය මුහුණුවරක් ලැබෙන බව පැහැදිලිය. නමුත් වහලුන් නිදහස් කිරීම සිවිල් යුද්ධයේ මූලික අරමුණ වී යැයි පිළිගත නොහැකිය. ඒබ්‍රහම් ලින්කන් වහලුන් නිදහස් කිරීමට නීතියක් ගෙන ආවේ සිවිල් යුද්ධය අරඹා වසර තුනක් ගිය තැනය. එහිදීද නිදහස දෙන බව කියවුනේ දකුණේ එතෙක් යටත් නොවුනු ප්‍රාන්තවල වහලුන්ටය (නමුත් ඒ නීතිය ක්‍රියාත්මක කිරීමට උතුරට ශක්තියක් නොතිබුනි). පැහැදිලිවම ආණ්ඩුවට අවශ්‍යවූයේ දකුණේ වහලුන්ට තම ස්වාමිපුතුන්ගෙන් පලා යෑමට ආරාධනය කර දකුණ අඩපන කිරීමටය. මායිම් ප්‍රාන්තවල සහ උතුරට යටත්වුනු දකුණේ ප්‍රාන්තවල වහලුන්ට මේ නීතිය අදාල නොකිරීමෙන් උතුරේ මූලෝපාය තව දුරටත් තහවුරු වේ. කෙසේ හෝ අවසානයේ නිදහස අත් කරගත් වහලුන් ලක්‍ෂ දෙකක් පමණ උතුරේ හමුදාවට බැඳී දකුණට එරෙහිව සටන් කලහ. මේ කරුණු කාරණා සලකා බැලීමේදී උතුරේ මෙහෙයුම මානුශීය මෙහෙයුමක් විනැයි සිතිය නොහැකිය. අනිත් අතට එය එසේවීනම් කළු ජාතික වහලුන් වෙනුවෙන් උණුවූ ඇමෙරිකානු රජයේ (විශේෂයෙන් ජෙනරාල් ෂර්මන් වැන්නන්ගේ) හදවත එරට ස්වදේශිකයින් කෙරෙහි උණු නොවුනේ මන්දැයි පැහැදිලි කල යුතුව තිබිනි.

සිවිල් යුද්ධය යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට ඇමෙරිකාව තුල අධිපතිබව ලබා ගැනීම සඳහා කෙරුනු මෙහෙයුමක් ලෙස හැඳින්වීම වඩා නිවැරදිය. 19 සියවස මැද භාගය වනවිට ඇමෙරිකාව (උතුරු ප්‍රාන්ත) රාජ්‍ය පිළිබඳව නව සංකල්ප නිර්මාණය කර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය නවමගකට හරවමින් සිටියේය. ඊලඟට උතුරේ ප්‍රාන්ත වලට අවශ්‍යය වූයේ යුරෝපයේ සිදුවෙමින් පැවති කාර්මික විප්ලවයට අනුගත වෙමින් කාර්මීකරණය වීමටය. ඒ සඳහා ප්‍රාග්ධනය උපයා ගැනීමට දකුණේ ප්‍රාන්ත ඉතා සරු ලෙස පවත්වාගෙන ගිය කපු අපනයන ව්‍යාපාරයට බදු පැනවීමට ඔවුන්ට අවශ්‍ය විනි. එමෙන්ම ඔවුන් විසින් ගොඩනඟාගත් ප්‍රජාතන්ත්‍රවාදය, පුද්ගලික නිදහස වැනි සංකල්ප තම රාජ්‍යය තුල පිලිගැනීමක් ඇති කරගැනීමට ඔවුන්ට අවශ්‍යවිනි. නමුත් මේ සංකල්ප ඔවුන් ගොඩනැඟුවේ තමන් අරභයා මිස අප්‍රිකාවේ වහලුන් වෙනුවෙන්වත් එරට ස්වදේශිකයින් වෙනුවෙන්වත් නොවන බව කිව යුතුය. කෙසේ නමුත් යුරෝපයේ එවකට පැවැති වැඩවසම් ක්‍රමයට නෑකම් කියූ දකුණේ සංස්කෘතිය මේ සියල්ලටම විරුද්ධ විය.

සංස්කෘතික නෑකම නිසා ඒ වනවිට ඉංග්‍රීසීහුද හදවතින් සිටියේ ඇමෙරිකාවේ දකුණ සමගය. සිවිල් යුද්ධය අතර මඟදී එක්තරා සිද්ධියක් අලළා එංගලන්තය තම නාවික හමුදාව ඇමෙරිකාවේ උතුරට එවන්නේ යුද්ධය නැවත්වීම අරමුණු කරගෙනය. ලින්කන්ට යුධ දෙකක් කිරීමට ශක්තියක් නොතිබිනි. ඔහු එංගලන්තය සමඟ ප්‍රශ්ණය ගොඩින් බේරා ගත්තේය. ලින්කන් ඒ සඳහා තමන් ගෙනයන යුද්ධය ප්‍රජාතන්ත්‍රවාදය, පුද්ගලික නිදහස වැනි උසස් අරමුණු සඳහා වූ එකක් බව තම රට වැසියාටත් ඉංග්‍රීසීන්ටත් ඒත්තු ගැන්වීය. ඉංග්‍රීසීන් පියවරක් පසු පසට ගත් අතර ලින්කන් ෂර්මන් වැනි රණ ශුරයන් යොදවා යුද්ධය ජය ගත්තේය. පසු කලෙක ඉංග්‍රීසි විචාරකයෝ ෂර්මන් එවකට සිටි නූතනම හමුදා අණදෙන්නෙක් ලෙස නම් කලහ.

ඇමෙරිකාව තමන් විසින් නිර්මාණය කල නව දැනුම සිවිල් යුද්ධය හරහා යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ පිළිගත් දැනුම බවට පත්කලේය. ඒ දැනුම මත පදනම්ව ඇමෙරිකාව තුල රාජ්‍යයක් බිහි කෙරිනි. ඒ සමඟම ඉංග්‍රීසීන් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය තුල දැනුමෙන්ද යුධ බලයෙන්ද අත් කරගෙන තිබූ කිරුල ඔවුන් අතින් ක්‍රමයෙන් ගිලි හෙන්නට පටන් ගැනිනි. මේ අවධියේම මිගෙට්ටුවත්තේ ගුණාන්ද හිමි පානදුරාවාදයෙන් ප්‍රොතෙස්තන්ත පූජකයින් පරාජය කිරීමත් ඇමෙරිකානු සිවිල් යුද්ධයේ (උතුර) නිළධාරියෙක් වශයෙනුත් ඉන් පසුව රජයේ යුධ දෙපාර්තමේන්තුවේ විශේෂ කොමසාරිස් වරයා වශයෙනුත් සැලකිය යුතු කාර්යයක් ඉටු කල කර්නල් හෙන්රි ඔල්කට් ගුණාන්ද හිමි සොයා ලංකාවට පැමිණීමත් ඉංග්‍රීසීන්ගේ පසුබෑම සංකේතවත් කරන්නක් ලෙස සැලකිය හැකිය. අවාසනාවකට අපට ඒ ගැම්මටම ධර්මපාලතුමාගේ නායකත්වයෙන් ඉංග්‍රීසීන්ගෙන් නිදහස් වන්නට නොපුළුවන්විය. එපමණක් නොවේ ඉන් වසර එකසිය පනහකට පසු ලද අවස්ථාවේදීද කොටි සමඟ කල සටන අමෙරිකාවේ සිවිල් යුද්ධය මෙන් රාජ්‍යය ගොඩනැඟීමේ ව්‍යාපෘතියක් කරගැනීමට අපට නොහැකිවිය.

අද පවතින ඇමෙරිකානු රාජ්‍යය ගලා එන්නේ 19 සියවසේ සිවිල් යුද්ධය දිනූ උතුරෙනි. රජයේ අනුග්‍රහයෙන් දකුණේ සංකල්ප සහ ආකල්ප පසුගාමී යැයි සලකමින් යටපත් කෙරිනි. සිවිල් යුද්ධයේදී දකුණේ යුධ කොඩිය වූ තරු සහ පටි කොඩිය ඇමෙරිකානු රජය මඟින් තහනම් කෙරිනි. එහිම ආකෘතියක් වූ මිසිසිපි කොඩියද තහනම් කෙරිනි. නමුත් සිවිල් යුද්ධයෙන් වසර එකසිය පනහකට පසුත් දකුණේ මිනිස්සු තමන් දකුණේ යැයි හඳුනාගන්නට උත්සාහ දරන්නේ සිවිල් යුද්ධය මූලික වශයෙන් සංස්කෘතික ආධිපත්‍යයක් සඳහා වු සටනක් බවට සනිටුහන් කරමිනි.

මිසිසිපියේ තරු සහ පටි කොඩියට වසර සියයක් පමණ කාලයක් පුරා තිබි තහනම මා ජැක්සන් නගරයේ පදිංචියට යන්නට වසරකට පමණ ඉහතදී ඉවත් කර තිබිනි. ඒ කාලයේ එහි වැසියන් බහුලව පැදවූ පිකප් වර්ගයේ රථවල විශාල ප්‍රමාණයේ තරු සහ පටි කොඩි ගසා තිබීම සුලබ දසුනක් විය. මගේ කැලිෆෝනියානු ලිබරල් සගයන් මේ කොඩි ප්‍රදර්ශණය දුටුවා නම් ඔවුන් එය දකුණේ සුද්දන් කල්ලන් කෙරෙහි වූ වර්ගවාදයේ සංකේතයක් ලෙස සලකනවාට සැකයක් නැත. ඒ ඇමෙරිකානු රාජ්‍යය විසින් සිවිල් යුද්ධයෙන් පසු සමාජගත කල මතවාදය නිසාය. නමුත් එහි ඊට වඩා යමක් තිබිනි.

9

කැලිෆෝර්නියා ගමන අවසානයේ මගේ වාහනය අබලන්වූ බැවින් මාස ගණනාවක් දිනපතා සැතැප්ම හතරක් පහක් රැකියාව සඳහා පා පැදියෙන් යන්නට සිදුවිනි. පා පැදි භාවිතය විශ්ව විද්‍යාලය තුල සුලබ දසුනක් විය. මා නොදැනුවත්වම ඒ හරහා මට කැලිෆෝර්නියාවේ ලිබරල් සංස්කෘතියේ සාමාජිකත්වය හිමිවී තිබුනු බව මා තේරුම් ගත්තේ මගේ පා පැදි ගමනට මා ඇසුරු කල ලිබරල් සමාජයෙන් ලද අනුමැතිය නිසාවෙනි. නමුත් පා පැදි පැදීම මා ප්‍රිය කල දෙයක් නොවිනි. විශේෂයෙන්ම කඩේ ගොස් පාපැදියෙන් බඩු ගෙන ඒම පහසු නොවුනු බැවිනි. අන් බොහෝ දෙනා ඒ සඳහා තම වාහනය පාවිච්චි කලහ. කෙසේ නමුත් කැලිෆෝර්නියා සමාජයේ පා පැදි කරුවන්ට ගරුත්වයක් හිමිවෙයි. ඒ ඔවුන් පරිසර දූශණය අවම කිරීමට දායක වන්නේ යැයි සැලකෙන බැවිනි. එහි ඇත්තක් නැත්තේද නැත. වරක් මා සිටි නිවසේම නවාතැන් ගත් තරුණයෙක් දිනපතා රැකියාවට ගියේ කයැක් නමින් හැඳින්වෙන ඒක පුද්ගල පාරුවකිනි. ඔහු සිලිකානු මිටියාවතේ පරිඝණක ක්‍ෂේත්‍රයේ ප්‍රසිද්ධ සමාගමක රැකියාවෙහි නිරතවූවෙකි. සමාගම අසලින් ඇල මාර්ගයක් විය. නමුත් අප සිටි නිවස අසලින් ඒ ඇල ගියේ නැත. ඒ නිසා ඔහුට හැතැප්ම භාගයක් පමණ දුරක් පාරුව කර තබාගෙන පයින් යන්නට සිදුවිනි. මේ තරුණයා දිනපතා මේ කාර්ය ඉතා උනන්දුවෙන් සහ ආශාවෙන් කලේය. ඔහුගේ වෑයම පරිසර දූශණය අවම කිරීමට දායක වූ බවට නිසැකය. නමුත් ඔහු පාරු පැද්දේ තමන් වෙනුවෙන් මිස අනුන් වෙනුවෙන් නොවුනු මට සැක නැතිව කිව හැකිය. ස්ව වින්ඳනය සඳහා කැපවුනු සමාජයක සියලු දෙනාම බයිසිකල් පැද්දත් ඒ සමාජයෙන් සෙසු ලෝකයාට සිදුවිය හැකි හානි වැලකිය හැකිද යන්න ප්‍රශ්ණයකි.

පොදුවේ ගත්විට අධ්‍යාපනයේ ඉහලට යන්නට යන්නට ඇමෙරිකාවේ උගතුන්ගේ ලිබරල්වාදී බව වැඩිය. මැතිවරණයකදී විශ්ව විද්‍යාල නගර ලෙස හැඳින්වෙන විශ්ව විද්‍යාලයක් වටා ගොඩනැඟුනු කුඩා නගර වල ඡන්දය මුළුමනින්ම පාහේ ලිබරල් අදහස් දරන ඡන්ද අපේක්‍ෂකයින්ට හිමි වීම ඊට උදාහරණයකි. නමුත් ඇමෙරිකානු සමාජයේ ලිබරල් ලක්‍ෂණ බටහිර ශාස්ත්‍රීය සංස්කෘතියේ වර්තමාන ස්වරූපය මිස ලිබරල් යනුවෙන් ගලා යන සංස්කෘතියක් එහි නැතැයි මම සිතමි. ගලා යන්නේ බටහිර ශාස්ත්‍රීය සංස්කෘතියය.

බටහිර ශාස්ත්‍රීය සංස්කෘතිය ලෙස මා හඳුන්වන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේම අංගයක්වූ එහි බුද්ධිමතුන් සහ උගතුන් විසින් නිර්මාණය කරමින් පවතින සංස්කෘතියයි. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික විකාශයේ හීතල හිස ලෙස එය හැඳින්විය හැකිය. වර්තමානයේ හීතල හිස සාමාජයික සහ දේශපාලණික වශයෙන් ලිබරල් ලෙස හඳුනාගත හැකිය. නමුත් ශාස්ත්‍රීය සංස්කෘතියේ නිර්ණායකය ලිබරල්වාදය නොව බටහිර දැනුමය. බටහිර දැනුමේ ඉහලම තැන කොතැනද බටහිර ශාස්ත්‍රීය සංස්කෘතිය ඇත්තේ එතැනය. උදාහරණයක් වශයෙන් මීට ශත වර්ශයකට ඉහතදී අයින්ස්ටයින් වැනි විද්වතුන් විසින් ගොඩනඟන ලද සංස්කෘතියක් එරට ප්‍රධාන නගර කේන්ද්‍ර කරගෙන තිබිනි. එය එකල ශාස්ත්‍රීය සංස්කෘතිය ලෙස හැඳින්විය හැකිය. එකල බටහිර ශාස්ත්‍රීය සංස්කෘතිය කිට්ටුවූයේ ලිබරල්වාදයකට වඩා සමාජවාදයකටය.

සෝවියට් දේශය පරමාණු බෝම්බයක් අත්හදා බැලීමත් සමඟම ඇමෙරිකාව තුල රුසියානු බියක් පැතිරිනි. එ සමඟම ඇමරිකානු විරෝධීන් විමර්ශණය කිරීම සඳහා රජයෙන් කමිටුවක් පත් කෙරිනි. සමාජවාදීන් යැයි සැක කෙරුනු උගතුන් ඒ කමිටුව ඉදිරියේ විභාග කෙරිනි. අයින්ස්ටයින් උගතුන් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. නමුත් අයින්ස්ටයින්ගේ විරෝධතා තුල දැකිය හැකි ලක්‍ෂණය නම් ඔහු සෘජුවම පෙනීසිටියේ සමාජවාදී දේශපාලනයක් වෙනුවෙන් නොව ඊනියා බුද්ධිමතුන්ගේ කාරය භාරයක් වෙනුවෙනි. ඔහු විරෝධය පෑවේ කුමක් වෙතත් බුද්ධිමතුන්ගේ කාර්යයට අකුල් හෙලීම පිළිබඳවය. ඔහුගෙන් ඉටුවූයේ බටහිර ශාස්ත්‍රීය සංස්කෘතියේ දේශපාලන බලය තහවුරු කිරීම බව පැහැදිලිය.

අද ඇමෙරිකාවේ සමාජවාදීන් නැත. කාලයාගේ ඇවෑමෙන් ඔවුන් ලිබරල්වාදීන් බවට පරිණාමය වී ඇත. ඊට හේතුව සමාජවාදය මෙන්ම ලිබරල්වාදයත් බටහිර ශාස්ත්‍රීය සංස්කෘතිය පිටුපසින් එන දේශපාලනික සහ සංස්කෘතික කෑලි වීමය.

බටහිර ශාස්ත්‍රීය සංස්කෘතියට දේශපාලන බලයක් අත්වෙන්නේ දැනුමත් දේශපාලන බලයත් අතර ඇති චක්‍රීය බවක් හේතුවෙනි. අද ලිබරල්වාදීන් ඇමෙරිකාවේ ජනගහණය සමඟ සංසන්ධනය කල විට සුළුතරයක් වූ නමුදු ඔවුන්ට තමන්ගේ පිරිස් බලය ඉක්මවා යන දේශපාලන බලයක් හිමිවී ඇත්තේ එබැවිනි. නමුත් ඇමෙරිකාව තුලම ඊට ප්‍රබල ප්‍රතිවිරෝධයක් ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන්නේ බටහිර ශාස්ත්‍රීය සංස්කෘතිය යා නොදෙන සාපේක්‍ෂ වශයෙන් නූගත් ඇමෙරිකානු සමාජයය. ඔවුන්ගේ පිරිස් බලය වැඩිය.

සාමාන්‍යයෙන් ලිබරල් වදීන්ගේ ආකල්ප සුදු ජාතිකයින් නොවුනු අප කෙරෙහි සහනශීලී විය. ඒ ඔවුන් ඊනියා සමානාත්මතාවක් වෙනුවෙන් පෙනී සිටිය නිසා විය හැකිය. ඒ අතින් ගත්විට සාමාන්‍යයෙන් ඇමෙරිකාවේ නූගත්තු අපවැනි විදේශිකයින් ප්‍රථම වරට හමුවුනු විට දැක්වූයේ ආරක්‍ෂාකාරී හැසිරීමකි. ඔවුන්ට අප ගැන සැක සිතෙන්නට ඇති. නමුත් කල් ගත වෙද්දී ඔවුහු අප සමඟ අන්‍යෝන්‍ය බැඳීම් ඇති කර ගත්හ. මගේ පෞද්ගලික අත්දැකීමට අනුච මා හා ලිබරල්වාදී උගතුන් අතර තිබුනු සම්බන්ධකම් බොහෝ විට මතුපිටට සීමා වුනු අතර ඊට සාපේක්‍ෂව නූගතුන් හා සමඟ තිබුනු සම්බන්ධකම් බොහෝවිට ගැඹුරු ඒවා විය. නූගතුන් යැයි කීවද ඔවුන් එසේ වන්නේ සාපේක්‍ෂ වශයෙන් පමණක් බව සැලකිය යුතුය.

ඇමෙරිකානු නූගතුන් හා මා අතරවූ සංස්කෘතික වෙනස දුරස් වුවද ඇතැම් තියුනු සංවේද ජනක අවස්ථා වලදී, උදාහරණයක් වශයෙන් ඉතා දුක් බර අවස්ථාවලදී, ඔවුන්ගේ හැඟීම් මගේ ඇඟට දැනුනි. මෙවැනි අවස්ථාවලදී කෙතරම් මතු පිටින් වෙනස් වුනද අපි සියල්ලෝම මිනිස්සු නොවේදැයි මට හැඟිනි. ඒ අතින් ගත් විට ලිබරල්වාදීන් පොදු මිනිස් බවක් ගැන නිතර කථා කලද ඔවුන්ගේ හැඟීම් හා සමපාත වීමට මට හැකියාවක් හෝ අවස්ථාවක් ලැබුනේම නැති තරම්ය. ඔවුන් හා වූ සම්බන්ධකම් මතුපිටට සීමා වීම ඊට හේතුවක් විය හැකිය.

කෙසේ වෙතත් ඇමෙරිකාවේ ජීවත්වුනු කාලයේදී එවැනි පොදු මිනිස් බවක් මගේ ඇඟට දැනුනු අවස්ථා දුර්ලභ විය. මිනිස්කම ඇඟට දැනෙන්නේ අපි යම් දුරකට එකිනෙකා හා සමපාත වුන විටය. (ගණිතමය ආදර්ශයක් ගන්නේ නම් සමපාතවීම භෞතික හා භෞතික නොවන අවකාශයක එක ලඟ පිහිටි ගවුසියානු ශ්‍රිත දෙකක පාද එක මත එක පිහිටීමක් ලෙස සැලකිය හැකිය (a)). නමුත් බටහිර ශාස්ත්‍රීය සංස්කෘතිය පොලඹවන්නේ මිනිසා සමාජයෙන් වෙන් කරවීමටය. (වෙන් කිරීම ගවුසියානු ශ්‍රිතයේ විචලතාව අඩු කිරීමක් ලෙස ගත හැකිය එවිට වක්‍රය වඩා උල්වූ පටු එකක් බවට පත්වේ. එවිට සමපාත වීමක් නැත (b)). වෙන් කෙරෙනු මිනිසුන් අතර සමපාත වීමක් නැත. එවිට මිනිස් බවක් ඇඟට දැනෙන්නේ නැත. ඇඟට නොදැනෙන විට මනුස්සකමක් නැත. බටහිර ශාස්ත්‍රීය සංස්කෘතියේ වඩාත්ම කිමිදුනු මිනිස්සුන්ට අපි කථා කරන ආකාරයේ මනුස්සකමක් නොතිබිනි.

gauss
ලෞකික ජීවතයේ පැවැත්ම සඳහා අපට අවශ්‍ය “මම” යන ශ්‍රිතයේ විචලතාව වැඩි කර ගනිමින් එය තුනී කරලීමටය නැත්නම් මමත්වය තුනී කර ගැනීමටය. එසේ කරගනිමින් මනුස්සකම ඉස්මතු කරගැනීමටය. එවිට මනුස්සයින්ට පමණක් නොව සතා සර්පයාටත් ගහ කොලටත් සංහිඳියාවෙන් ජීවත්විය හැකිසිරු ලෝකයක් නිර්මාණය කර ගත හැකිය. නමුත් බටහිර සංස්කෘතියේ ඊතල හිස හැරී ඇත්තේ මමත්වය වර්ධනය කරන දෙසටය.

2001 සැප්තැම්බර් මස 11 දා අල් කයිඩා ත්‍රස්තවාදීහු නිව් යෝක් නගරයට පහරදුන්හ. සජීවීව රට පුරා දැක ගන්නට ලැබුනු මේ දරුනු ප්‍රහාරයෙන් මුළු ඇමෙරිකානු සමාජයම කම්පනයට පත්විනි. එදින මා සිටියේ මගේ පර්යේශණ කණ්ඩායමේ සගයන් සමඟ විශ්ව විද්‍යාලයෙන් පිට නිවාඩු නිකේතනයකය. පර්යේශණ කටයුතු ගැන සාකච්ඡා කිරීමත් එකිනෙකා සමඟ සුහදව විවේකයෙන් කාලය ගත කිරීමත් එහි අරමුණ වී තිබිනි. ප්‍රහාරය ගැන අප දැන ගත්තේ රූපවාහිනියෙනි. මුලදී බොහෝ දෙනා රූපවාහිනිය අසලට රොක් වුනද ඉන් පසුව ඔවුන් විසිර ගියහ. ඒ දසුන්, විශේෂයෙන්ම ගින්නෙන් බේරීමට මිනිසුන් උස ගොඩනැඟිල්ලේ සිට පහතට පනිනු බලා සිටීම කල නොහැකි දෙයක් විනි. කොළඹ නගරයේ ත්‍රස්ත ප්‍රහාර ඇතිවුනු බොහෝ අවස්ථාවල නාඳුනන මිනිසුන් පවා එකට එක්වී කථා බස් කරමින් තමන්ගේ කම්පනය තුනී කරගනු මා අත්දැක ඇත. මටද අවශ්‍ය වුනේ කථා කිරීමටය. මම මා සමග එකම ව්‍යාපෘතියේ වැඩ කල ඇමෙරිකානු ජාතිකයා සමඟ දොඩ මළු වුනෙමි. නමුත් මේ ඉතා සංවේදී ජනක අවස්ථාවේදී මගේ උගත් ලිබරල් සගයින් බොහෝ දෙනා තොරා ගත්තේ හුදෙකලා වීමටය. එදින පුරාම ඔවුන් තම තමන්ගේ කල්පනාවේ නිග්ම වෙමින් තනිව ගත කලහ. සවස් වෙනවිට නිවාඩු ව්‍යාපෘතිය අත හැර දමා සියල්ලෝම නිවෙස් බලා ගියහ. එකිනෙකා සමඟ දුක බෙදා ගැනීම් හැකියාව (ඉව) ඔවුන් අතින් ගිලිහී ඇතැයි මම සිතමි. කලින් කී පරිදි ඒ ඔවුන් එකිනෙකා සමඟ සමපාත නොවුනු නිසාය.

විශ්ව විද්‍යාලයේ මා ඇසුරු කල ලිබරල් සමාජයට හාත් පසින්ම වෙනස් සමාජයක් මම සති අන්තවල අත් දැකීමි. ඒ පළමු පරම්පරාවේ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින්ය. පාලෝ ඇල්ටෝ නගරාසන්නයේ ශ්‍රී ලාංකික පංසල් දෙකක් තිබිනි. ඔවුන්ගේ බොහෝ සමාජීය කටයුතු පංසල හා බැඳී තිබිනි. අපි එහි අවුරුදු උත්සව පැවැත්වුවෙමු, වෙසක් සමයට භක්ති ගී ගැයුවෙමු, නාට්‍ය කළෙමු. සිකුරාදා රැයකට අපි එක් නොවුනු වාරයක් තිබුනේ නම් ඒ කලාතුරකිනි. පොදුවේ අපි අපේ මිත්‍ර සමාගමට මහත් කෑදර කමක් දැක්වූවෙමු. ඒ කෑදරකමට හේතුවක් තිබිනි. ඒ හුදෙකලාවය. අපි බොහෝ දෙනෙකු ඇමෙරිකානු සමාජයට ආගන්තුකයින් වූවෙමු. අපි ජීවත්වූනේ එහෙටත් නැති මෙහෙටත් නැති ආකාරයකටය. අපි අතර වූ බැඳීම ජීවිතය පවත්වා ගැනීමට මහත් උපකාරීවිය.

වසර තුනක් ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ගත කිරීමෙන් අනතුරුව ස්ථිර රැකියාවක් සොයා ගැනීමට කාලය පැමිණ තිබිනි. බොහෝ දෙනාගේ තේරීම වූයේ විශ්ව විද්‍යාලයක කථිකාචාර්ය ධූරයක් ලබා ගැනීමය. එම විශ්ව විද්‍යාලයට රටේ තිබුනු පිළිගැනීම නිසා ඒ වනවිට කිහිප පලකින් මට ආරාධනා ලැබී තිබිනි. එකක් නැඟෙනහිර වෙරලේ එවැනිම සුප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයකිනි තව එකක් මා ආචාර්ය උපාධිය කල විශ්ව විද්‍යාලයේ මගේ ගුරුවරයාගෙනි. නමුත් මගේ අදහස වූයේ වෙනකකි.

මට අවශ්‍ය වූයේ කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ධූරයක් ලබා ගන්නා තුරු වසරක් දෙකක් කොහේ හෝ වැඩ කර මුදල් ටිකක් උපයා ඉන් අනතුරුව ලංකාවට යෑමටය. ඒ නිසා මම ඉහත ආරාධනා ගෞරවයෙන් ප්‍රතික්‍ෂේප කර මිසිසිපි ප්‍රාන්තයේ ජැක්සන් නගරයේ විශ්ව විද්‍යාලයකට ඉල්ලුම් කර එහි කථිකාචාර්ය ධූරයක් ලබා ගතිමි. මිසිසිපි ප්‍රාන්තය ඇමෙරිකාවේ නොදියුනුම ප්‍රාන්තයකි. එම විශ්ව විද්‍යාලය ශාස්ත්‍රීය කටයුතු සඳහා වැදගත් තැනක් නොවිනි. මගේ අරමුණ වූයේ ලංකාවට යනතුරු එතරම් කාරය බහුල නොවුනු විවේකී ජීවිතයක් ගත කිරීමටය ( මා සිතුවාටත් වඩා එය එසේ විය). ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ බොහෝ දෙනා මා නිරපරාදේ මගේ වෘත්තීය අභිවෘද්දිය අවදානමේ දමන්නේ යැයි සිතමින් මිසිසිපි ගමන අධෛර්යමත් කරන්නට උත්සාහ කලහ. ඔවුන්ට වෙනත් ප්‍රශ්ණයක්ද තිබිනි. ඒ ඇමෙරිකාවේ දකුණේ ප්‍රාන්ත ජාතිවාදී ලෙස නම් දරා තිබීමය.

නමුත් මම 2002 මුල රැකියාව සඳහා මිසිසිපි ප්‍රාණ්තයේ ජැක්සන් නගරයට ගියෙමි.

8

මිතුරන් දෙදෙනෙකු ඔවුන් නිතර යන එන කඩයක තේ බොන අතර වාරයේ, ඉන් එක් අයෙක් අනෙකා අමතමින් “වෙනදාට වඩා අද නම් තේ එකේ කහට වැඩියි” යැයි කියද්දී අනෙකා මදක් සිතා බලා “නෑ (තරමක් අදිමින්) මං හිතන්නේ නෑ” යැයි කිවහොත් ලංකාවේදී නම් බොහෝවිට ඒ කථාව එතැනින් නිමවනු ඇත. ඔබ කොහොමද ඒ බව නිගමණය කලේ, එක් දිනක කහට රස තව දිනක කහට රස සමඟ සසඳන්නේ කෙසේද, ආදී ප්‍රශ්ණ බොහෝවිට ඒ කථා බහේදී පැන නඟින්නේ නැත. නමුත් ඇමෙරිකාවේ උගතුන් දෙදෙනෙකු අතර මේ සංවාදය ඇතිවිනි නම් එතැනින් නොනැවතී අතුරු ප්‍රශ්ණ පැන නැඟීමට බොහෝ විට ඉඩක් ඇත. ඇමෙරිකාවේ ජීවත්වන කාලයේදී සාමාන්‍ය කථා බහේදී කෙරුනු මේ ආකාරයේ ප්‍රශ්ණ කිරීම් මුලදී මට රිස්සුවේ නැත. කථාවට කියැවුනු කරුනක් සම්බන්ධයෙන් මේ යකා මා කියන දෙයක් නොපිළිගෙන දිගින් දිගටම ප්‍රශ්ණ කරන්නේ ඇයිදැයි මම කල්පනා කෙරුවෙමි. නමුත් මට පසුව අවබෝධ වුනේ මොවුන් මේ ප්‍රශ්ණ අසන්නේ මගේ ප්‍රකාශයක් විසංවාදයට ලක් කිරීම සඳහා නොව ඔවුන්ට මා පවසන දේ මා තේරුම්ගත් ආකාරයටම තේරුම් ගැනීමට උවමණාවූ නිසා බවය. මෙවැනි ප්‍රශ්ණ කිරීම් වලට ඉඩ දුන් බොහෝ අවස්ථාවලදී ප්‍රශ්ණ වැල කෙලවරවූයේ මගේ හුදෙක් විශ්වාසයක් යැයි කියවුනු තැනකිනි. එතැනින් එහාට ප්‍රශ්ණ නොකිරිනි.

බටහිර විද්‍යාවේ කෙරෙන්නේ ඊනියා දත්ත සහ උපකල්පන තර්ක මඟින් එකිනෙකට ඈඳාගෙන යම් යම් දේ තේරුම් ගැනීමට උත්සාහ කිරීමය. උගතුන් ප්‍රශ්ණ නගන්නේ දත්ත සහ උපකල්පන අතර සම්බන්ධය තර්කයෙන් ගොඩනඟා ගැනීම සඳහාය. එහිදී ඔවුන් ඊනියා දත්ත වලටත් උපකල්පන වලටත් වාස්ථවික (absolute) බවක් අත් කර දෙයි. ඒ නිසා නිතැතින්ම ඉන් තේරුම් ගැනෙන දෙයටද වාස්ථිකත්වයක් ලැබෙයි. ඇමෙරිකාවේ උගතුන් දෙදෙනා තේ කෝප්පයේ කහට පිළිබඳව දිගින් දිගට ප්‍රශ්ණ නඟන්නේ වාස්ථවික අර්ථයෙන් යම් දේවල් තේරුම් ගත හැකිය යන පදනම මත ඒ සඳහාය. ඊට සාපේක්‍ෂව ලංකාවේ මිතුරන් දෙදෙනා ඒ පිළිබඳව ප්‍රශ්ණ නොනගන්නේ ඇයි? කහට රස වාස්ථවිකව තේරුම්ගත නොහැකි යැයි ඔවුන් අතර අන්‍යෝන්‍ය අවබෝධයක් ඇති නිසාද? එසේත් නැතිනම් එකෙක් අනිකා දරන අදහස තර්කයෙන් නොව ඉවෙන් දැන ගන්නා නිසාද? එසේත් නැතිනම් ඔවුන්ට අනුව කහට රස දත්ත සහ තර්කයෙන් විස්තර කල නොහැකි නිසාද? නිවැරදි පිළිතුර මේ ප්‍රශ්ණවලට උත්තර අතරේ ඇතැයි මම සිතමි.

ඉහත විස්තර කෙරුනු බටහිර උගතුන්ගේ ප්‍රශ්ණ නගන ගතිය ඔවුන් ශාස්ත්‍රීය කටයුතු වලදී ක්‍රියාකල ආකාරයේම දිගුවකි. මේ ගතිය ඔවුන්ට ලැබෙන්නේ වාස්ථිකත්වයක් ගැන විශ්වාස තබන ඔවුන්ගේ සංස්කෘතියෙනි. ඒ නිසා ශාස්ත්‍රීය කටයුත්තක්ද සාමාන්‍ය ජීවිතයේ කථා බහක්ද කියා වෙනසක් ඔවුන්ට තිබුනේ නැත. මට අවශ්‍යවූයේ ශාස්ත්‍රීය කටයුතු වලදී එසේ කටයුතු කර සමාන්‍යය ජීවිතයේදී එසේ නොකර සිටීමටය. නමුත් දෙබිඩි ජීවිතයක් ගත කිරීම විශේෂයෙන්ම පාලෝ ඇල්ටෝහි ජීවත්වන කාලයේදී අපහසු විනි. කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ගේ ඇසුරෙහි මමද බටහිර ශාස්ත්‍රීය සංස්කෘතියට යම් පමණකට අනුගත වුනෙමි. පසු කාලයේදී එය මගේ වෘත්තීය කටයුතුවලට මහත් පිටුවහලක් විනි. (මා මෙහි බටහිර ශාස්ත්‍රීය සංස්කෘතියක් ලෙස හඳුන්වාගන්නා සංස්කෘතිය යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේම අංගයක් මිස ඉන් වෙන්කර ගත හැකි ඊනියා උප සංස්කෘතියක් නොවේ. මා එසේ හඳුන්වාගන්නේ එය ඇමෙරිකාවේ ජනප්‍රිය සංස්කෘතියෙන් වෙන් කර දැක්වීම සඳහා පමණය. කලක් එහි ජීවත්වුනද ඇමෙරිකාවේ ජනප්‍රිය සංස්කෘතියට අනුගතවීමට මට නොහැකිවිනි)

මා බටහිර ශාස්ත්‍රීය සංස්කෘතිය ඉහලින්ම අත්වින්ඳේ කැලිෆෝනියාවේ පාලෝ ඇල්ටෝ නගරයේ ජීවත්වූ වසර තුනක පමණ කාලය තුලදීය. කැලිෆෝනියාවේ සිලිකන් මිටියාවත ලෙස හැඳිවෙන ප්‍රදේශයේ පිහිටි කුඩා නගරයක් වුවද එහි ජනගහණයෙන් විශාල ප්‍රමාණයක් ආචාර්ය උපාධිදාරීන් වීම ඊට හේතුවක් විය හැකිය.

සාමාන්‍යයෙන් ගත්විට ඇමෙරිකාවේ මිනිසුන්ගේ අධ්‍යාපනය මට්ටම ඉහල යනවිට ඔවුන් බටහිර ශාස්ත්‍රීය සංස්කෘතියේ ගිලුනු තරම වැඩි විය. උදාහරණයක් වශයෙන් ඉහත සඳහන් ප්‍රශ්ණ කිරීමේ ගතිය පාලෝ ඇල්ටෝහි උගතුන්ට තිබුනද මිසිසිපි ප්‍රාන්තයේ නූගතුන්ට එය එලෙසම පිහිටා තිබුනේ නැත. පැහැදිලිවම ඇමෙරිකානුවන්ට අධ්‍යාපනය ඔස්සේ බටහිර ශාස්ත්‍රීය සංස්කෘතිය ලැබෙයි. නමුත් ලංකාවේ අපි කුමන මට්ටමට අධ්‍යාපනය ලැබුවත් අපට බටහිර ශාස්ත්‍රීය සංස්කෘතිය ලැබෙන්නේ නැත.

අපි බටහිර අධ්‍යාපනය හරහා නොයෙක් දේ ලබා ගන්නෙමු ඒ අතර ගණන් හැදීමේ හැකියාව, විභාග සමත් වීමේ හැකියාව, තව සමහරවිට උද්දච්ඡ කමද වේ නමුත් අපි බටහිර උගතුන් මෙන් හිතන්නට හැකියාවක් අධ්‍යාපනය හරහා ලබා ගන්නේ නැත. බොහෝ සමාජ දේශපාලන සහ ආර්ථික ප්‍රශ්ණ වලදී ලංකාවේ නූගතුන් ක්‍රියාකාරන ආකාරයත් උගතුන් ක්‍රියාකාරන ආකාරයත් අතර වෙනසක් ඇත්නම් ඒ බුද්ධිමය වශයෙන් නොව ආකල්පීයමය වශයෙන් පමණක් යැයි මම සිතමි. ඊට හේතුව අපි අධ්‍යාපනය හරහා අමතර සිතීමේ හැකියාවක් අත් කරගන්නේ නැති බැවිනි. එසේ හැකියාවක් අත් කර ගන්නේ නැත්නම් රටක් වශයෙන් අපි බටහිර අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජනයෙහි ඵලක් නැත. අයියෝ සල්ලි!


දත්ත සහ තර්ක ආධාරයෙන් දැනුම ගොඩනඟන ව්‍යුහයෙන් එපිට දැනුම ගොඩනඟිය හැකි යම් ඉවක් පොදුවේ අප සමාජය සතු යැයි මම සිතමි. ඉහත මිතුරන් දෙදෙනා තේ කහට පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධයකට පැමිණෙනුයේ ඒ නිසා විය හැකිය. මේ ගතිය ප්‍රාථමික මට්ටමේ එකක් වුනද උසස් මනසකින් යුත් බුද්ධිමතුන් ඇතිකර ගැනීම සඳහා සරු පොළවකි. සමහර විට ඒ හරහා බුද්ධිමතුන් ඇති කරගන්නා අධ්‍යාපන ක්‍රමයක් ඉතිහාසය පුරා අප අතින් ගිලිහී ගියා වෙන්නට ඇති. අපිට මනස දියුණු කරමින් උසස් දැනුම් නිර්මාණය කරගැනීමට හැකියාවක් තිබුනිනම් බටහිර ශාස්ත්‍රීය සංස්කෘතියේ රස්තියාදු ගැසීමට උවමණාවක් ඇතිවන්නේ නැත.

කෙසේ නමුත් අඩු තරමින් අපේ රටේ බටහිර අධ්‍යාපන ක්‍රමය හරහාවත් (බටහිර ශාස්ත්‍රීය සංස්කෘතියට අනුව සිතිය හැකි) බුද්ධිමතුන් බිහි වෙන්නේ අවම වශයෙනි. ඒනිසා ඇමෙරිකාව වැනි රටකට සාපේක්‍ෂව අපේ රටේ බුදධිමතුන් හිඟය. අද ඉංදියාවටත් බටහිර ආණ්ඩුවලටත් අපට මේ තරම් කෙනෙහිලි කම් කරන්නට හැකිවී ඇති එක් ප්‍රධාන හේතුවක් බයියන් සහ හීබයියන් අතර බුද්ධිමතුන් හිඟවීමය.

ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ගත කල කාලය තුලදී මා කල පර්යේශණ සම්බන්ධයෙන් මම සෑහීමකට පත් වුනෙමි. අවාසනාවකට එය මගේ රස්සාව වූ බැවින් මා කැමති ගැටළුවක් සම්බන්ධයෙන් පර්යේශණ කිරීමට තරම් නිදහසක් එහි නොතිබුනි. ආචාර්ය උපාධි සමයේ තරමට ශාස්ත්‍රීය නිදහසක් ඉන් පසුව ඇමෙරිකාවේ ජීවත්වුනු කාලයේදීම මට නොලැබිනි. එවැනි නිදහසක් යලි ලැබුනේ මම නැවතත් කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය මංඩලයට බැඳුනු පසුවය. අවාසනාවකට දැන් නැත්තේ ඒ සඳහා කාලය පමණය.

ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මා අයත්වුනු පර්යේශණ කණ්ඩායමේ සිසුන්ද ඇතුළුව පනස් දෙනෙක් පමණ සිටියහ. ඒ අතරින් ශාස්ත්‍රීය කටයුතු සඳහා සුවිශේෂ දක්‍ෂතාවක් දැක්වූයේ එහි ජේශ්ඨ ආචාර්ය වරුන් එක් අයෙක් හෝ දෙදෙනෙක් පමණය. මගේ තක්සේරුවට අනුව මා ඇතුළු සෙසු අය සාමාන්‍ය තරමේ දක්‍ෂයින් වූහ. නමුත් කණ්ඩායමක් වශයෙන් අපේ නිර්මාණ උසස් මට්ටමක තිබිනි. ඊට හේතුව වූයේ විශිෂ්ඨ ජේශ්ඨයින් දෙදෙනාගේ මඟ පෙන්වීම සහ ආභාශය විය. බුද්ධිමතුන් කිහිප දෙනෙකු අල්ලාගෙන ඔවුන්ට පහසුකම් සපයාදී ඔවුන් වටා පර්යේශණ කණ්ඩායම් බිහි කිරීම උසස් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ඇමෙරිකාවේ සාර්ථක ලෙස අත්හදා බලා ඇති ක්‍රමයකි.

එම විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රීය වශයෙන් දක්‍ෂකම් පෑ එවැනි තවත් බොහෝ කණ්ඩායම් තිබිනි. ඔවුහු ඔවුනොවුන්ගේ විශයධාරාවන් තුල ඇමෙරිකාව තුලත් ඉන් පිටතත් ආධිපත්‍යයක් ගොඩනඟාගෙන සිටියහ. පැහැදිලිවම එහි දේශපාලනයක් විය. මගේ පර්යේශණ කණ්ඩායමේ ජේෂ්ඨයින්ට අපේ ක්‍ෂේත්‍රය තුල යම් දේශපාලන බලයක් තිබිනි. එනම් ඔවුන්ගේ ප්‍රවාද සහ මතවාද ඒ ක්‍ෂේත්‍රය තුල පිලිගැනීමකට ලක් කිරීමට ඔවුන්ට හැකියාවක් තිබිනි. අපේ පරයේශණ වෛද්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ කමක් දැක්වුනු බැවින් ඔවුන්ට කල හැකි බලපෑම සුළු පටු නොවිනි.

බටහිර දැනුම් නිර්මාණයේ චිශිෂ්ඨයින් ඔවුන්ගේ සංස්කෘතිය තුල දේශපාලන බලයක් ගොඩනඟා ගැනීම ස්වභාවිකව සිදුවන්නකි. උදාහරණයක් වශයෙන් භෞතික විද්‍යා අංශයෙන් නොබෙල් ත්‍යාගය හිමි කරගත් ආචාර්ය ස්ටීවන් ෂූ එකල ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ කතිකාචාර්ය වරයෙක් වශයෙන් සේවය කලේය. පසු කලෙක ඔබාමා ඔහු ඇමෙරිකාවේ බල ශක්ති ලේකම් ලෙස පත් කරමින් ඇමෙරිකානු බල ශක්ති ක්‍ෂේත්‍රයේ විශාල වෙනස්කම් කිරීම සඳහා ෂූ ට දේශපාලන බලයක් ලබා දුන්නේය. ඇල්බට් අයින්ස්ටයින් පවා යුදෙව්වන් සඳහා වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටි සියොනිස්ට් සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක් වශයෙන් විශාල දේශපාලන බලයක් තමන් වටා ගොනු කරගත්තෙකි. ඊශ්‍රායලයේ ප්‍රථම ජනාධිපති (විධායක නොවන) රාසායනික විද්‍යාඥයෙකු සහ සියොනිස්ට් සංවිධානයේ සභාපතිවූ වීස්මාන් මිය ගිය විට ඊශ්‍රායලයේ ප්‍රථම ජනාධිපති ධූරය සඳහා යෝජනාවූයේ ඇල්බට් අයින්ස්ටයින්ගේ නමය. අයින්ස්ටයින් එය භාර නොගත්තේ වයස්ගත වැඩියැයි පවසමිනි.

යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය තුල දැනුම් නිර්මාණය කිරීමත් දේශපාලන බලයක් ගොඩනැඟීමත් අතර මනා චක්‍රීය සම්බන්ධයක් ඇත. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය ඊනියා වාස්තවිකත්වයක් පිළිබඳ විශ්වාස නොකලේ නම් මේ චක්‍රීය සම්බන්ධයෙන් හානියක් නොවීමට ඉඩ තිබිනි. නමුත් අවාසනාවකට ඔවුහු ඔවුන්ගේ දැනුම වාස්තවිකයැයි සිතති. සාපේක්‍ෂතාවාදයක් ගැන කථා කල අයින්ස්ටයින් පවා දෙවියන්වහන්සේ සුදු කෙලින්නේ නැතැයි පවසමින් ඊනියා වාස්තවිකත්වයක් තහවුරු කලේය. මේ විශ්වාසය නිසා දැනුම නිර්මාණය කිරීම හරහා යුදෙවි ක්‍රිස්තියානි සංස්කෘතිය ලබා ගන්නා දේශපාලන බලය චක්‍රීය වශයෙන් යොදා ගැනෙන්නේ ඔවුන්ගේ දැනුම මුළු ලොවෙහිම දැනුම බවට අධිපතිවාදීව පැටවීම සඳහාය. මෙරට සමහර ජාතිකවාදීන්ට පවා ඒ ආධිපත්‍යයෙන් මිදීමට නොහැකි බව පෙනෙන්නේ ඔවුන් බුදු දහම විද්‍යාත්මක බව ඔප්පු කිරීමට දඟලන දැඟලිල්ල දකින විටය. අපිට පව්!